Posts Tagged ‘ආසනික්’

සමස්තයක් වශයෙන් ගත් විට ශ්‍රී ලංකාවේ සරසවි යනු එකම අවුල් ජාලයකි. භෞතික හා මානව සම්පත් හිඟය , දේශපාලන ඇඟිලි ගැසීම්, පෞද්ගලීකරණ තර්ජන ,සිසු ගැටලු, ප්‍රතිපාදන කප්පාදුව ආදි දහසක් ප්‍රශ්න වලින් ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය දැවෙමින් පවතී.

ආචාර්ය හිඟය, දේශනශාලා,රසායනාගාර පහසු කම් නොමැති වීම හෝ මඳ වීම, පුස්තකාල පොත්පත් හිඟය,නේවාසිකාගාර ගැටලු අද සරසවි වල සාමාන්‍ය දේවල් බවට පත් ව ඇත. නො එසේනම් ,පේරාදෙණිය සම සෞඛ්‍ය විද්‍යා සිසුන්ට සිදු වුනා මෙන් ,පහසුකම් තිබුනද ඒවා ප්‍රයෝජනයට ගැනීම බාහිර බලවේග විසින් අහුරා ඇත.

මෙම ප්‍රශ්න විශේෂයෙන්  උග්‍රව පවතින්නේ  මෑත භාගයේ රජයන් විසින්  තැන් තැන් වල කිසි සැලස්මකින් තොරව කඩිමුඩියේ ඇටවූ සරසවි , සරසවි පීඨ හා අධ්‍යන දෙපාර්තමේන්තුවලය.

අවම පහසු කම් පවා නොමැති මෙම සරසවි හා පීඨ මෙසේ තනන්නේ එක්කෝ පවතින රජයන්ට අපිත් විශ්වවිද්‍යාලයක් හැදුවා යැයි පම්පෝරි ගසන්නටය. එසේ නැත්නම් කවුරුන් හෝ ප්‍රාදේශීය දේශපාලකයෙකුට” ඔන්න අපේ පලාතටත් මම විශ්ව විද්‍යාලයක් ගෙනාවා ” යැයි කියන්නට ය.

සරසවි තුල අලුතින් පීඨ හෝ අධ්‍යන දෙපාර්තමේන්තු සැදෙන්නේත් එලෙසය. නමුත් ඒ සෘජු දේශපාලන අවශ්‍යතා වලට  වඩා දේශපාලකයින් පස්සේ ගොස් සරසවි තුල බලයක් ගොඩ නගා ගෙන සිටින ආචාර්ය මහාචාර්ය වරුන්ගේ උවමනා එපා කම් වෙනුවෙනි    හෙද,රසායනාගර ශිල්පී,විකිරණ ශිල්පී භෞත චිකිත්සක ආදි පාර වෛද්‍ය සේවාවල නියුතුවූවන්ට උපාධි ප්‍රදානය කරන සම සෞඛ්‍ය විද්‍යා පීඨය රටේ සැබෑ අවශ්‍යතාවක් වූවත් පේරාදෙණියේ එය තැනුනේ එම අවශ්‍යතාව වෙනුවෙන් නොව ඒ වන විට වෛද්‍ය පීඨය තුල තම ප්‍රතිරූපය බිඳ ගනිමින් සිටි මහාචාර්ය චූලා ගුණසේකරගේ පෞද්ගලික න්‍යාය පත්‍රයට අවශ්‍ය පරිදිය. පීඨය පවත්වාගෙන යන්නට තැනක් පවා නොමැතිව, විෂය නිර්දේශයන් පවා සකස් නොකර තිබියදී කඩිමුඩියේ එය පටන් ගත්තේ ඒ නිසාය. සිසුනට අවශ්‍ය රසායනාගාර පහසුකම් , ප්‍රායෝගික පුහුණු වීම සඳහා රෝහල් ආදිය ගැන කිසිම සැලකීමක් නොකරන ලදි.

චූලා ගුණසේකරලාගේ කඩි කුලප්පුවට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ සිසුන්ටය. පීඨය අරඹා වසර පහක් පමණ ගත වී ඇති අතර එම කාලයෙන් වැඩි හරියක් සිසුන් ගෙව්වේ තම අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් උසාවි ගානේ රස්තියාදු වෙමින් හෝ මහ පාරවල් දිගේ පෙලපාලි යමින් පොලිස් හා ආණ්ඩුවේ මැරයින්ගෙන් ගුටි කමිනි. නො එසේනම් ප්‍රායෝගික පුහුණුව සඳහා කාලය හිඟා කමින් පෞද්ගලික රෝහල් වල රස්තියාදු එම පීඨයේ ගුරු වැඩි දෙනා පිටින් පැමිණ උගන්වන බාහිර කථිකාචාර්යවරුන්ය. චූලලාට පිංසිද්ද වෙන්නට සිසුන් ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවෙන් තොර පාඨමාලා දහදුක් විඳිමින් හදාරති.  අදටත් එම  තත්වයේ වෙනසක් නැත.

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨයේ අද ඇති වී තිබෙන තත්වයද ඊට සමානය. එය සැදුනේ වැඩිපුර වෛද්‍ය සිසුන් ගණනාවකට අධ්‍යාපනය දීම සඳහා වූ පරම පවිත්‍ර චේතනාවෙන් නම් නොවේ. ඇත්තෙන්ම කිවහොත් රජරට වෛද්‍ය පීඨය යනු මහලු මඩමකි. එය තනා ගැනීම සඳහා පුදුමාකර තදියමක් ත් තිබුනේ පේරාදෙණිය පීඨයේ උගන්වා විශ්‍රාම ගොස් අවලංගු කාසි බවට පත්ව සිටි  ආචාර්ය මහාචාර්ය කීප දෙනෙකුන්ටය. දේශපාලන  අධිකාරියේ අමන කමුත් එයට එක්වීමේ ප්‍රතිඵලය අංග විකල රජරට වෛද්‍ය පීඨයයි.

දේශපාලකයින්ගේත් , මේ මහලු ඇදුරන්ගේත් සැබෑ අරමුණ වැඩිපුර වෛද්‍ය සිසුන් ගණනකට අධ්‍යාපනය දීම නම් කල යුතුව තිබුනේ දැනට ස්ථාපිතව ,යම් ප්‍රමිතියක් ඇතිව පවත්වාගෙන යන වෛද්‍ය පීඨවල ඇති පහසුකම් තව වැඩි කර ඒවාට බඳවා ගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීමයි. මහාචාර්ය ඒකක, සායනික පහසුකම් හා සුදුසුකම්  ලැබූ ගුරුවරුන් රහිත මෙවැනි පීඨයක් ආරම්භ කිරීම නොවේ. එම පීඨවල පහසුකම් වැඩි දියුණු කිරීමට අලුතින් , මෙවැනි පීඨ භාග බිහි කිරීමට වඩා වියදම් අඩු ,සිසුනගේ පමණක් නොව රෝගීන්ගේ පැත්තෙන්ද   වඩා සාධාරණ හා අඩු වියදම් ක්‍රියාවකි. එහෙත් එය අලුත් පීඨයක් ඇරඹීම තරම් අඬබෙර ගැසිය හැකි ක්‍රියාවක් නොවේ. එසේම එයින් පැජ් පෙරේරලගේ හා උඩුපිහිල්ලේ ලාගේ විශ්‍රාමික ප්‍රශ්න විස‍ඳෙන්නේද නැති බව නම් සැබෑය.

එහෙත් එයින් සිසුන්ට යම්තරමකට හෝ ප්‍රමිතියක් හා අන්තර්ජාතික පිළිගැනීමක් ඇති වෛද්‍ය උපාධියක් හැදෑරීමට ලැබෙනු ඇත. එය රජරට බඳු වෛද්‍ය පීඨ වලින් බිහිවෙන භාග වෙදුන්ගෙන් ප්‍රතිකාර ලබනවාට වඩා රෝගීන්ටද හොඳය.

වසර විසි තිස් ගණන් පේරාදෙණියේ උගැන්වූ මේ ගුරුවරු නියමිත පහසුකම් නොමැතිව වෛද්‍ය පීඨයක් ඇරඹීම කොතරම් හානිදායක දෙයක් දැයි හොඳාකාරවම දනී. එහෙත් ඔවුනට එය වැදගත් නැත. ඔවුනට වැදගත් තම පොකට්‍ටුව පමණි.අඩුම තරමෙන් පීඨය පටන් ගත් පසුව හෝ මහාචාර්ය ඒකක පිහි‍ටුවා පීඨය දියුණු කර ගැනීමට ඔවුනට අවශ්‍ය නැත. මේ මහලු ගුරුවරුන් පසෙක තැබුවත් , රජරට පීඨයට වැදී සිටින නාථ දෙවියන්ගේ ගෝලයන් වන ජයසුමනලාට හෝ මහමිතවලාටවත් එය අවශ්‍ය බවක් පෙනෙන්නේ නැත.ඇත්තටම ගතහොත් ජයසුමනලා හා  මහමිතවලා රජරට වෛද්‍ය පීඨයේ බංකොලොත් බව පෙන්වන කැටපත් බඳුය. වෛද්‍ය පීඨයක වෛද්‍ය සිසුන්ට උගන්වන ගුරුවරුන් වන මොවුන් දේව බලයෙන් ඩෙංගු රෝගය සුව කල හැකි යයි සිතනවුන් වීම මොනතරම් විගඩමක්ද?

මේ ප්‍රශ්නය ගැන මතු වෙන  ඊලඟ  කරුණ නම් මෙයට සම්බන්ධ වෙනත් පාර්ශව, එනම් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය, වෛද්‍ය පීඅඨ කමි‍ටු වැනි ආයතන සම්පූරණයෙන්ම නිහඬ පිලීතක් අනුගමනය කිරීමයි. මාලබේ වෛදා්‍ය පීඨයෙ සායනික පහසුකම් නැති නිසා එයට මාරන්තිකව විරුද්ධ වෙන මොවුන් රජරට  ගැන නිහඬව සිටින්නේ මන්ද? රජරට සිසුන් නිසි  ප්‍රමිතියකින් යුතු වෛද්‍ය අධ්‍යාපනයක් ලබා එලියට පැමිණ තමන්ට තරඟයක් දේවි යැයි බිය වී වත්ද?

මෙහෙ වර විමලයෝ
මෙහෙ වර වසන්තයෝ
මෙහෙ වර නලියෝ
ගං කබරයෝ ටික  මෙහෙට වරෙව්

ඉඳල්ලා අර ගනිල්ලා
කාපියව්,බීපියව්
බඩ පැලෙන කම්
කාපියව් බීපියව්

දැන් ඉතින් ලියපියව්
ගඩා‍ෆියා ගැන
ලිබියාව ගැන
ලියපියව්, ලියපියව්

මේ රටේ මැට්ටන්ට
අනිත් හැම දෙයක්
අමතක වෙන කම්ම්
ලියපියව්

බැනපියව් බටහිරට
බැනපියව් බෙන්ගාසියන්ට
බැනපියව් යුරෝපෙට
පත්තර පිරෙන්නට බැනපියව්

මැරුව හැටි වැරදි යැයි කියපියව්
කුමන්ත්‍රන ගැන ලියපියව්
දේශපෙරේමේ දොරේ ගලන්නට
ලියපියව්, කියපියව්

පලයව් රූපවාහිනියට
සුවාදීනෙට, දෙරනට
ගුවන් විහිලුවට
ගොහින් බැනපියව්, පතුරු ගහපියව්

ඊලඟට බනින්නට
කෙනෙක් හොයා දෙනකම්
පතුරු ගහපියව්
බැනපියව්

ඒ අතරේ මමයි මගේ සැට් එකයි
දෙඤ්ඤං ජම්බුව
පැට්‍රොල් ඩීසල් වලට
භූමි තෙල් ටිකට

කෙලවන්නම් ගෑස් එකට
බස් ගාස්තුවට
අල ගෙඩියට,සීනි ටිකට
හැම දේටම  කෙලවන්නම්

හැම දේටම කෙලවඤ්ඤා
අය වැයෙනුත් කෙලවඤ්ඤා
මෝඩ හැත්ත බලා ඉඳියි
ගඩා‍ෆිගේ ලබ්බ දිහා

 

 

ලංකාවේ නොයෙක් ආකාරයේ ජාතික ව්‍යාපාර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ව්‍යාපාරය , දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරය , ආදි මේ ව්‍යාපාර ගොන්නට අලුතෙන්ම එකතු වී තිබෙන්නේ ධාර්මික ගොවිතැනක් සඳහා වූ ව්‍යාපාරයයි.

 
මේ අය ධාර්මික ගොවි තැනක් ගැන කතා කරන්නේ  අධාර්මික ගොවිතැන් කියා යමක්ද  තිබෙන නිසා  විය යුතුය. ඒ මොනවාදැයි අප නොදනිමු. සමහර විට කංසා වගාව, දුම්කොල වගාව ආදිය මේ ගණයට අයිති වනවා විය හැක. නමුත් අප කතා කරන්නට යන්නේ ඒ ගැන නොවේ. පසු ගියදාක මේ ධාර්මික ගොවිතැනක් සඳහා වූ ව්‍යාපාරය පොලොන්නරුවේ සෝමාවතිය අසල පැවත්වූඅධිෂ්ඨාන පූජාවක් ගැනය.
 
ගම්මිරිස් අඹරා දෙවියන් ලවා සතුරන් හැඳි ගාවන නිකායේ මහනායක හා  නිර්මාතෘ අතුරලියේ රතන  උන්නාන්සේ, නාථ දෙවියන්ගේ ආනුභාවයෙන් වෛද්‍යවරයෙකු වී සිටින චන්න ජයසුමන ඇතුලු තවත් දේශප්‍රේමි ප්‍රාඥයන් පිරිසක් එකතු වී පැවත් වූ මේ පූජාවේ එක් අරමුණක් වශයෙන් දේශප්‍රේමි වෙබ් අඩවි වල වාර්තාකොට තිබුනේ නාථ, සුමන සමන්  ඇතුලු සම්‍යක් දෘෂ්ටික දෙවි වරුන්ගේ සපෝර්ට් එක ධාර්මික ගොවි තැනට ලබා ගැනීමයි.
 
මේ අවස්ථාවේ පෘථග්ජන අපගේ සිතට නැගෙන එක් අතුරු ප්‍රශ්නයක් නම්  මේ නාථලා, සමන්ලා සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් නම් සම්‍යක්දෘෂ්ටික නොවන එනම් මිත්‍යාදෘෂ්ටික දෙවිවරුනුත් සිටිනවාද යන්නයි. එසේ සිටිනවා යැයි කවුරුන් හෝ පිංවතෙක් අපට කියන්නේ  නම් එය අප පිලි ගැනීමට සූදානම් නමුත් ඒ සමග අපගේ පවුකාර සිතේ පහල වන ඊ ලඟ ප්‍රශ්නය වන්නේ එවන් වූ මිත්‍යාදෘෂ්ටිකයන් අපායට නොයවා දෙව්ලොව යැව්වේ මොන යකාද යන්නයි.
 
එවන් වූ පව්කාර අතුරු ප්‍රශ්න පසෙකින් තබා නැවතත් මේ මහා අධිෂ්ඨාන පූජාවේ අරමුණු දෙසට හැරුනු විට අප  දැක්කේ බුද්ධ බෝගය වන වී වගාවට ආශිර්වාදය ලබා ගැනීමත් එහි එක් අරමුණක් බවයි.
 
නැවතත් අතුරු ප්‍රශ්න අපගේ ඔලුවට ගලාගෙන එයි. වී වගාව බුද්ධ බෝගය නම් කුරහන් ,තල, මිරිස් , රට කජු, ඇතුලු අනිකුත් බෝග ක්‍රිස්තු බෝගද ,එසේත් නැත්නම් දෙව්දත් බෝග දැයි යන්නත් අඟදීම අපගේ ජාතික ආහාරය වන්නට නියමිත කුරහන් බෝගය බුද්ධ බෝගය වශයෙන් නම් නොකලේ මක් නිසා දැයි යන්නත් අසන්නට  සිතුනත් මුන්නාන්සේලා අපට විරුද්ධව සීනිගම ගොස් ගම්මිරිස් අඹරයි දෝ යන සැකය නිසා නිහඬ වීම ඇඟට ගුණදායක බව සිතේ.
 
එහෙත් සීනිගම හෝ කැළණියේ වෙසෙන සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ටත් නවත්තන්නට බැරි තරමේ අතුරු ප්‍රශ්න ගලා ගෙන එන්නේ මේ වහන්සේලාගේ පූජාවේ ඊ ලඟ අරමුණ දු‍ටු විටය.
 
සම්‍යක්දෘෂ්ටික පිංවතුනී , සාදුකාරයක් දෙන්න එම උදාර, දේශප්‍රේමි , අරමුණ වෙනුවෙන්.
 
” කෘමිනාශක  වලින් සිදු වෙන මහා ප්‍රාණගාතය නතර කිරීම ” එම උතුම් අරමුණයි.
සාදු  … සාදු …. සාදු

දැන් මේ කෘමිනාශක යොදන්නේ කුමකටද පිංවත්නි?

ගොයමට හානි කරන ගොයමට හානි කරන කොල කන දලඹුවන් , කීඩෑවන්, පනුවන් ගොයම් මැස්සන් ඇතුලු පලිබෝධකයන් විනාශ කිරීමටය. . උන්ව ඝාතන කිරීමටය.

එසේ නම්  කෘමි නාශක වලින් සිදු වන මහා ප්‍රාණගාතය නතර කල විට සිදු වන්නේ කුමක්ද?

ඒ පලිබෝදකයින් රිසි සේ ගොයමට වැද එය විනාශ කිරීම නොවේද?

එවිට ලංකාවේ වී  ගොවි තැනින් යැපෙන ජනයාට කුමක් වන්නේද? 

රටේ  ජනතාවට කන්නට සහල් පිටරටින් ගෙන්වන්නට සිදු නොවේද?
නො එසේනම් උන් සැමට කන්නට කියන්නේ කුරහන් හැලප හෝ  ඇමෙරිකන් තිරිඟු පිටියෙන් තැනු ගල් බනිස්ද?


වතාවක් ආසනික් කියමිනුත් තව වතාවක් සයනයිඩ් කියමිනුත් නැවත ධාර්මික ගොවිතැන් කියමිනුත් මේ නටන්නේ ඇමෙරිකන් තිරිඟු පිටි පිල්ලියක්වත්ද?
 
දැන් කෘමිනාශක ගැන කතා කරන මේ වහන්සේලා ඊ ලඟට රසායනික පොහොර ගැනත් මේ විදියටම වදාරා පොහොර සහනාධාරයත් නැවත්වීමට ආණ්ඩුවට උපදෙස් දෙයිද?
 
රතන සාදුලා සෝමාවතිය අසල කල අධිෂ්ඨාන පූජා නිසා අප සිතට නැගෙන්නේ මේ ආකාරයේ  ප්‍රශ්නය. 
 
නාථලා කොහොම වෙතත් අඩු ගානේ රතන සාදුලාවත් මේවාට උත්තර දෙනවා නම් පෘතග්ජන අපගේ සිතට එය මහා සැනසීමකි.
 
සාධු සාධු සා !!!!!!!!!!!!
 
කුඩා ළමයින්ගේ මොලයේ ක්‍රියාකාරිත්වයට හානිදායක ඊ  319 නමැති රසකාරකය  ඇස්ට්‍රා මාජරින් වල අඩංගු බව හෙළිදරව් වීම නිසා  එහි දවටනයේ අවුරුදු  3 න් පහල ළමයින්ට හානිදායක බව සටහන් කල යුතු යැයි කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනවිය ඇස්ට්‍රා නිෂ්පාදකයින්වන ලිවර් සමාගමට නියෝග   කර ඇත.
 
මෙම ඊ-319 සංයෝගය මොලයට  පමණක් නොව වකුගඩු හා ස්නායු පද්ධතියටද හානි කරන අතර බොහෝ බටහිර රටවල එය ආහාර සඳහා යෙදීම තහනම් කර ඇත.
 
මෙම සිදු වීම සිදු වී දැනට දින කිහිපයක්  ගත වුවද කිසිම ප්‍රධාන මාධ්‍යයක මේ ගැන සටහන් වුයේ නැත. අපේ රටේ මාධ්‍ය  තරම් පොදු ජනයාට පක්ෂපාත ,ආදරේ, අනුකම්පා කරන මාධ්‍ය ලෝකයේ වෙන   කොහේ වත්  තිබේ දැයි සැක සහිතය.  ඒවායේ වැඩ කරන  මාධ්‍යවේදින්ද  ඊට දෙවැනි නැත. ඔවුන්ගේ ඉහින් කනින් මානව භක්තිය බේරෙනවාය . සර්වාංගයම මානව දයාවෙන් පෙඟීලාය.
 
පොදු ජනයාට අසාධාරණයක් වන විට ඔවුන් යක්ෂයන් මෙන් ආවේශ වී පුවත් පත් පිටු ගණන් පුරවති. රූපවාහිනී හා ගුවන් විදුලි නාලිකා තුලා පැය   ගණන් කඳුළු සලති. කුඩා දරුවෙකු හදිසි අනතුරකින් මිය ගිය විට මළකඳ පෙන්වමින් ස්වර්ණවාහිනියේ  මිනී කාක්කන් හඬන සැටි බලා ඉන්නට අජූවය.
 
එවන් වූ මානව හිතවාදීන් මෙම බහු ජාතික සමාගම් ජාතියේ කුඩා දරුවන්ට වස කවන විට ඒ ගැන වචනයක්වත් නොපවසත්.  මෙවැනි අධිකරණ තීන්දුවක් ඇති බව දැන දැනත් ඔව්හු තවමත් ඇස්ට්‍රා වෙළඳ දැන්වීම් පල කරති.
ජාතියේ සෞඛ්‍ය බාර මාධ්‍යවේදිනිය වන ඒමන්ති නෝනා මේ ගැන  තම  දේශප්‍රේමී  දිවයින  පුවත් පතේ  ඉතා කුඩාවට  ලිපියක්  පළකරන්නේ අදාළ නිෂ්පාදනයේ නම පවා සටහන් නොකරය. 
 
” ළදරුවන්ට හා ළමයින්ට හානිකර ඊ 319 නමැති රසකාරකය අඩංගු මාජරින් වර්ග දෙකක්‌ හා බිස්‌කට්‌ වර්ග කීපයක්‌ දේශීය වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බව අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එල්. පී. රෝහණ මහතා “දිවයින” ට පැවසීය.”
සමහර විටක මේ දේශප්‍රේමී මාධ්‍යකරුවන්ට ජාතියේ ළමා පරපුරට වඩා බහුජාතික සමාගම් වලින් ලැබෙන වෙළඳ දැන්වීම් හා තුටු පඬුරු වැදගත් වනවා වෙන්නට ඇත.

සටහන- කවදත් මුදලට විකිණෙන මාධ්‍ය කරුවන් තබා  පසු ගිය දිනවල ආසනික් ගැන මහත් සේ තප්පු ලෑ ජාතික චින්තකයින්වත් ,  උන්ට උඩ  ගෙඩි දුන් කුප්‍රකට උපවාස කරුවන් හෝ පාර්ලිමේන්තු ගිය ගනින්නාන්සේලාවත් මේ ගැන මුව සෙලවූයෙවත් නැත.  මේ සියලු දෙනාම අද සිටින්නේ ඇස්ට්‍රා කෑ ගොළුවන් සේය.

අපේ රටේ සිටින විහිළුකාර දේශප්‍රේමීන්ට අනුව මෙහෙ සිද්ද වෙන සෑම දෙයක්ම වෙන්නේ බටහිරයන්ගේ කුමන්ත්‍රණ නිසා ය. මේ බටහිරයන්ට වෙන කිසි වැඩක් නැත. උන් උදේ නැගිට්ට වෙලේ හිට කරන්නේ ලංකාවට විරුද්ධව එක එක ජාතියේ කුමන්ත්‍රණ කොරන එකය.
උන් ලංකාවට පුදුමාකාර ලෙස ඊරිසියා කොරති. ඒ නිසා නොයෙක් කුමන්ත්‍රණ කරමින් ලංකාව විනාශ කිරීමට පැලෑන් ගසති. මේ කුමන්ත්‍රණ වලට ලංකාවේ සිටින දේශද්‍රෝහින්ද උදව් කරති. ලංකාව ඇතුලේ සිටින මේ දේශද්‍රෝහීන් අවජාතකයින් බවද පෙරමුණේ රාල ඇතුළු සුපිරි දේශප්‍රේමින් විසින් සොයාගෙන ඇත.
 
මේ දේශප්‍රේමින්  පහු ගිය කාලයේ එලි කල කුමන්ත්‍රණ රාශියකි. බෑන් කී මූන්  කුමන්ත්‍රණ, දරුස්මාන් කුමන්ත්‍රණ, චැනල් 4 කුමන්ත්‍රණ, පාන් පිටි කුමන්ත්‍රණ , හාල් පිටි කුමන්ත්‍රණ පමණක් නොව පහු ගිය කාලයේ ගංවතුරට කොළඹ යට වුයේද එක්දහස් අටසිය ගණන් වලදී සුද්දන් කල කුමන්ත්‍රණයකින් බව මොවුන් විසින් සොයා ගෙන තිබිණි.
 
මොවුන්ට අනුව , තම අර්ථ සාධක මුදල් කොල්ලයට එරෙහිව කම්කරුවන් පාරට බැසීමද බටහිර කුමන්ත්‍රණයකි. වැඩි වැටුප් ඉල්ලා සරසවි ඇදුරන්  වර්ජනය කිරීම බටහිර බලවතුන් හා එක්ව උන්ට රට ජාතිය  පාවා දීමට කරන මහා කුමන්ත්‍රණයකි.
 
මේ කුමන්ත්‍රණ න්‍යායචාරින්ට වැඩේ වැරදුනේ ආසනික් කුමන්ත්‍රණයක් ගැන එලි කිරීමට ගිය නිසාය. දැන් මේ දේශප්‍රේමී කට්ටියගේ ආණ්ඩුව කියන විදියට එම ආසනික් ගැන   නාථ  දෙවියන්ගෙන්  අසා  රටට  කී ඊනියා  දේශප්‍රේමින් ද  රට සහලින්  ස්වයංපෝෂිත   වෙනවාට විරුද්ධ කුමන්ත්‍රණ කාරයින්  පිරිසකි.
 
කොහොමින් කොහොමින් හරි මේ ආසනික් කතාවත් පටලවාගෙන  ගෙන පොහොර සහනාධාරයටත් වැඩේ දුන්නේය. පෙනෙන්නට තිබෙන හැටියට නම් මෙතන වී ඇත්තේ බාර දුන් කොන්ත්‍රාත්තුවක් පටලවාගෙන වැඩේ ඇද ගෙන  නා ගැනීමකි.
 
නලින් ඇතුළු චින්තන නඩේටත්, විකටවංශ ඇතුළු උපවාස නඩේටත් බාර  වූයේ පොහොර සහනාධාරය කපා දැමීම සඳහා අවශ්‍ය ජන මානසිකත්වය සූදානම් කර දීමයි. ඊනියා ජාතික චින්තන වලින් හා තවත් මතවාද වලින් ඔද්දල් වීඇති මේ පුංචි ටිකිරි මොළ ටික තමන්ගේ හූනු බිජ්ජක් තරම් වෙන මොළවලට තේරෙන පරිදි  ජනතාවට පොහොර භාවිතය  එපා  කිරීම  සඳහා    වෙන දේශප්‍රේමී  වැඩ සටහන වශයෙන්  තෝරා ගත්තේ මේ ආසනික් කතාවයි. දැන් මේ කතා කාරයින්ට සිදු වුනේ  ඔවුන්ම මෙතුවක් කල් අනුන්ට කුමන්ත්‍රණ ලේබල් අලවමින් සිටි ඔවුන්ම කුමන්ත්‍රණ කාරයින්  වී ආසනික් බිවු රිලවුන් ලෙස බලා සිටීමයි.
 
ආසනික් කුමන්ත්‍රණය එසේ රිලා නැටුමක් බවට පත් වෙද්දී  අපේ රට ගිල ගැනීමට මාන බලා සිටින මේ බටහිරයන් ගේ හා උන්ට කත් අදින මෙරට අවජාතක  දේශද්‍රෝහීන්ගේ අලුත්ම කුමන්ත්‍රණයක් ගැන මහා සොයා ගැනීමක්   පසු ගිය ඉරිදා දිවයින  එලි කර  තිබිණි.
 
බලාගාර 5 ක්‌ එකවරම අක්‍රිය වීම කුමන්ත්‍රණයක්‌”
 
මෙහෙම කියන්නේ වෙන කවුරුත් නෙවේ, ලංකාවේ විදුලි බල බාර ඇමති වරයාද  අපට සිටින අංක එකේ දේශප්‍රේමී සිල්වතුන් කීප දෙනාගෙන් කෙනෙක්  ද වෙන  රණවක  තුමාය. ආයේ නම් කිසි දවසක ලයිට් කපන්න වෙන්නේ නැතැයි ද රට අඳුරේ සිටි කාලය අහවර  යැයිද   පහු ගිය දවස් වල පාරම් බෑවෙද මෙතුමාමය.
මේ තුමා ලා පහු ගිය කාලය පුරාවට හොරෙන් හොරෙන් විදුලිය කපා දැමු අතර එය ජනතාවට එළිදරවු වූ වී  , කටේ නරි වාදම් රෙද්ද පල්ලෙන්  පෙරෙන විට තමන්ගේ අසමත් කම් වසා ගන්නට ,භාවිතා කරන වචනය නැවත වතාවක්  තටමන්නට  පටන් ගෙන තිබේ. 
 
“කුමන්ත්‍රණ, කුමන්ත්‍රණ, කුමන්ත්‍රණ, කුමන්ත්‍රණ, ………………..”
 
සටහන- මේ අනුව කුමන්ත්‍රණ යනු මෙරට පාලකයින්ට ඕනෑම ජනතා විරෝධී ක්‍රියාවක් හෝ තමන්ගේ අසමත්  කමක් සාධාරනී කරණය කිරීමට භාවිතා කරන මන්තරයක් බවට  පත්ව තිබේ. පාලකයින් වශයෙන් තමන්ගේ ගැලවිජ්ජාවට යමක් හොයා ගත යුතු බව සැබෑය. ප්‍රශ්නය වී ඇත්තේ මේ ගල් පැලෙන මුසාවාද  ගෙඩි පිටින්  ගිල දැමීමට සූදානම් පිරිසක් සිටීමය. ඔවුන් මේ මුසා වලින් කොතරම් වශී වීඅත්දයි දන ගැනීමට අවශ්‍ය නම් ඔබ කල යුත්තේ සී නිව්ස් වෙබ් අඩවියට හෝ පෙරමුණේ රාල වැන්නවුන්ගේ වර්ගවාදී බ්ලොගයකට හෝ ගොස් මොවුන් දමන කොමෙන්ටු කියවීමයි.
 


ආසනික් ගැන පරීක්ෂණ කරන සමහර සමහර සරසවි පර්යේෂකයින්මෙන්ම සහල්වල ආසනික් අඩංගු නොමැති බව කියා සිටින කෘෂිකර්ම ඇමතිවරයා ද බහුජාතික සමාගම්වල මුදලට යටවී ඇතැයිද හදිසියේම නින්දෙන් අවදි වූ ජනිපෙ ලොක්කෙක් වෙන විජේනායක උන්නැහේ පහු ගිය දා මාධ්‍ය සාකච්චාවක් තියල චෝදනා කරා.

මේකත් හරියට අර රාජිත ඇමතිවරයාගේ වේදිකාවල සරම් උස්සා කෑ ගැහීම ගැන කියපු කතාව වගේ.

මේ කතාව කියන විජේනායකලත් ආණ්ඩුවේ කොටස් කාරයෝ. විජේනායකගේ ලොක්කා වීරවංශ , කෘෂිකර්ම ඇමති එක්ක එක කැබිනට් එකේ එකට ඉන්නේ. එහෙනම් කෘෂිකර්ම ඇමති ගැන තමන්ට විශ්වාසයක් නෑ කියලා විජේනායක වගේ පාරාජිකා වුනු සොක්කෝ එවලා මාධ්‍ය සාකච්චා තිය තිය කාලේ නාස්ති කරන්නේ ඕනේ නැහැ. මේ දවස් වල හැංගිලා ඉන්න වීරවංශ ලොක්කාට ම පුළුවන්නේ කෙලින්ම කැබිනට් මීටින් එකකදී මේ ගැන කෘෂිකර්ම ඇමතිගෙන් අහන්න . තමුසේ ගැන අපිට විශ්වාසයක් නැහැ , තමුසේ කොම්පැනි කාරයින්ට යට වෙලා ඉන්නේ කියලා මූණටම කියන්න පුළුවන්නේ.

අනික, මේ ආසනික් කාරයොන්ට පහු ගිය දා දෙහි කපපු තමන්ගේ ආණ්ඩුවේ නායකයාත් ඉස්සරහම ඒ ගැන අහන්න පුළුවන් එතකොට. කොම්පැනි කාරයින්ට යට වෙලා ඉන්නවා කියලා , විජේනායකලා පතුරු ගලවන නිලධාරින් හාල් වල ආසනික් නැතිය කියන කොට ජනාධිපති ඒක පිලි ගත්තා නේ . ඕනේ නම් ඇයි එහෙම කලේ කියලා ජනාධිපතිගෙනුත් මූණටම අහන්න පුළුවන්නේ.

එහෙම කරන්න කොන්දක් නැතිව , නිකම් මහජනයාට පේන්න , සොක්කෝ ලව්වා මාධ්‍ය සංදර්ශන තියලා, පත්තර පිටු ගණන් ලිපි ලියවලා වැඩක් නැහැ . එහෙම කෙලින්ම ප්‍රශ්න කරනවා තියා අඩු ගානේ මේ මාධ්‍ය සාකච්චාවට එන්නවත් විජේනායකගේ ලොක්කට කොන්දක් නැහැ. එහෙව් රටේ ….

ඔය වගේ වැඩට කියන්න තියෙන්නේ ඒකත් අර ඉස්සෙල්ල කිව්වා වගේ මහජනයාට සරම ඉස්සීමක් විතරයි කියලා.

රජරට නිපදවන හාල්වල ආසනික් ඇතැයි නලින් ද සිල්වා මහාචාර්යතුමාට නාථ දෙවියන් විසින් කියා තිබේ. රජ රට ජනතාව අතර පැතිර යන වකුගඩු රෝගයට හේතුවත් ආසනික් බව මේ තුමාලා අපට පවසති. අපි මේ ගැන මීට පෙරද ලියා ඇත්තෙමු. එම නිසා නාථ දෙවියන් ගැන ලිවීම මදකට නවතා වකුගඩු රෝගය ගැන බලමු.

මේ වකුගඩු රෝග වසංගතය ගැන බොහෝ දෙනා බොහෝ දේ පවසති.

මුලින්ම එම රෝග තත්වයට හේතුව ඇලුමිනියම් භාජන වල ආහාර පිසීම යැයි මුලින්ම කියවුනි. ඉන්පසුව තවත් පර්යේෂක කණ්ඩායමක් මෙම රෝගයේ වගකීම වාරි ජලයට මුසු වුනු බැර ලෝහ වෙත , විශේෂයෙන්ම කැඩ්මියම් වෙත පැවරීය. මේ කාලයේ රජරට ජනතාවට වැව් මාලු , නෙලුම් අල ඇතුලු තවත් බොහෝ දේ ආහාරයට නොගන්න්නා ලෙස නොයෙක් පණ්ඩිතයන්ගෙන් උපදෙස් ලැබුනි.

මද කලක් ගත වන විට කැඩ්මියම් අමතක වී ගිය අතර අලුත්ම පර්යේෂකයින් පිරිසක් වකුගඩු රෝගයට හේතුව ජලයේ ඇති නීල හරිත ඇල්ගී විශේෂයක් බව ප්‍රකාශ කලෝය.

මේ මහා පර්යේෂකයින් සියල්ලෝම , තමන්ගේ මහා සොයා ගැනීම ගැන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රසිද්ධියක් ලබා ගන්නවා හැරෙන්නට ඉන් එහා දෙයක් මෙම රෝගයෙන් බැට කන රජරට ජනතාව වෙනුවෙන් කලේ නැත. අඩුම තරමේ තම පර්යේෂණ ප්‍රසිද්ධ කර එයට පිලියමක් සොයා ගැනීම වෙනුවෙන් මාර්ගයක්වත් සදන්නට උත්සාහ කලේ නැත.

මෙම රෝගය ගැන මෙසේ නොයෙක් මත එලි දක්වන විට එම මත ඉදිරිපත් කරන පිරිස් රෝගයෙන් පීඩා විඳින ජනයා වෙනුවෙන් සෑබෑ ලෙසම මේ ප්‍රශ්නයට පිලිතුරු සොයන විද්‍යාඥයින් නම් කළයුතුව තිබුනේ සියලු දෙනාම එකතුව තම පර්යේෂණ ගැන පුලුල් විද්‍යාත්මක සාකච්ඡාවක් ඇරඹීමය.

තැන් තැන් වල සිටින මේ ඊනියා පර්යේෂකයින් තබා මේ ගැන බරක් තබා කටයුතු කල යුතු ආණ්ඩුව, විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයවත් ඒ ගැන උනන්දු බවක් පෙනෙන්නට නැත. සමහර විට ඔවුන් වකුගඩු රෝගින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ හා උපකරණ ගෙන්වීම පිලිබඳ කටයුතු නිසා කාර්ය බහුලව සිටිනවා විය යුතුය. මක් නිසාද යත් රෝගය වලක්වා ගැනීමට වඩා ප්‍රතිකාර කිරීම ලාභ දායක බැවිනි.

‍රැල්ලට දැන් අලුතින්ම එක් වී ඇත්තේ නාථ දෙවියන්ගේ ආසනික් ය. මෙම දේවාල කපුවන් පිරිසද මේ දක්වාම තම පර්යේෂණය එලි දැක්වූ බවක් පෙනෙන්නට නැත. ඒ වෙනුවට ඔවුනුත් කරන්නේ ඔවුන්ගේ පූර්වගාමිකයන් මෙන්ම මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටීමය. වෙනසකට ඇත්තේ මෙම සංදර්ශනය දේශප්‍රේමි සංදර්ශනයක් වීමය.

මෙම සංදර්ශනයේ දැන් අලුත්ම ජවනිකාව ආසනික් සහිත කෘෂි රසායනික තොගයක් වරායේ දී රේගුව විසින් කො‍ටු කර ගෙන ඇති බවයි.අතුරලියේ රතනගේ පටන් සියලුම ආකාරයේ දේශප්‍රේමින් කරලියට පැමිණ එම ජවනිකාවේ දේශප්‍රේමි ගී ගයමින් සිටිති.

ආනයනය කල කෘෂි රසායනික වල ආසනික් හෝ වෙන ඕනෑම තහනම් රසායනිකයක් අඩංගු නම් කල යුතුව ඇත්තේ මාධාය සර්කස් පැවත්වීම නොව ,අදාල රසායනික ගෙන්වූ සමාගම් වලට එරෙහිව නීති මගින් කටයුතු කිරීමය. එම රසායනික මගින් පීඩාවට පත් ජනයාට වන්දි ලබා දීමට කටයුතු කිරීමය.

එසේම සහල් වල ආසනික් ආඩංගු නොමැතිව තිබෙද්දිත් මොවුන් ජනතාව බීය පත් වන ලෙස බොරු කියා ඇත්නම් ඔවුන්ට එරෙහිවද වහාම නීතිය ක්‍රියාත්මක විය යුතුය.

එහෙත් දැන් කෘෂිකර්ම ඇමතිවරයා කියන්නේ ඔවුන් විසින් කළ පරීක්ෂණ අනුව ලංකාවේ හාල් වල ආසනික් අඩංගු නොවන බවයි. එසේම ඔවුන් විසින් පරීක්ෂණයට ලක් කළ කෘෂි රසායනික වලින් වර්ග දෙකක හැරෙන්නට අනිත් කිසිවක ආසනික් අඩංගු නොවූ බවත් එම දෙකේ පවා තිබුනේ පිලිගත හැකි මට්ටම් වලින් බවත්ය. එම පිලි ගත හෙකි මට්ටම් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල දැයි වෙනම සොයා බැලිය යුතුය.

මෙම කණ්ඩායම් දෙකම පවසන්නේ සත්‍ය විය නොහැකි අතර පැහැදිලිවම මෙයින් එක පිරිසක් දැන දැනම බොරු කියයි. එසේ නැතිනම් ඔවුන්ගේ පර්යේෂණ ක්‍රමවේදයන් වැරදිය. එම නිසා බොරු තොරතුරු වලින් ජනතාව මුලා කරන මාධ්‍ය සංදර්ශන නොපවත්වා , වහාම තම පර්යේෂණ පිලිබඳව සියලු දත්ත හා ක්‍රම වේදයන් ප්‍රසිද්ධ කල යුතුය. එසේ නොමැතිව නාථ දෙවියන් හෝ විභීෂණ දෙවියන්මෙයට ඈඳා ගෙන ජනතාව මුලා කර ඔවුන් භීතියට පත් නොකල යුතුය.

එයින් වන්නේ සහල් වල ආසනික් ඇතැයි බියට පත් වන ජනයා අතර සහල් පාරිභෝජනය අඩු වීමයි . එවිට වී ගොවිතැන බිඳ වැටී ගොවින් ආර්ථිකව කඩා වැටීමට සලස්වා ඔවුන්ගේ කුඹුරු ඉඩම් කොල්ල කෑම බහු ජාතික සමාගම් වලටත් අනෙකුත් දේශිය හා විදේශිය කොල්ල කරුවන්ටත් ඉතා පහසුවෙන් කල හැකිය.

එසේම ඉඳි ආප්පයේ සිට කේක් ගෙඩිය දක්වා පාන් පිටි වලින් තැනු සියලු ආහාර හාල් පිටි වලින් තැනිය යුතු යැයිද , පාන් පිටි වලට බදු ගසා මිල වැඩි කර පාන් පිටි පාරිභෝජනය අඩු කළ යුතු යැයිද මේ දේශප්‍රේමින්ම මොර ගසා වැඩි කලක් ගත වී නැත. දැන් හාල් වලහ ආසනික් ඇතැයි කියමින් ජනතාව බියට පත් කරන මොවුන් කියන්නේ රට වැසියන් සියලු දෙනා කුරහන් පිට්‍ටු කෑ යුතු බවද?

එම නිසා මොවුන් දේශප්‍රේමි හැව තුලට වී නටන නාඩගම් දෙස අප ඉතා පරීක්ෂාවෙන් බලා සිටිය යුතුය. එසේම සැබෑ ලෙසම ආසනික් තර්ජනයක් ඇත්නම් කෘෂිකර්ම බලධාරින් කෘෂි රසායන සමාගම් වලට යට වී ඇත්දැයි යන්න පිලිබඳවද අපගේ අවධානනය යොමු කල යුතුය.

සටහන- නලින් ද සිල්වා ප්‍රමුඛ කණ්ඩායමේ රංගනය ක්‍රමයෙන් ටෙනිසන් කුරේ වර්ගයේ විහිලුවක් බවට පත් වෙමින් තිබේ. දැන් ඔවුන් පවසන්නේ වකුගඩු රෝගයට පමණක් නොව ඩෙංගු , මී උණ ආදි රෝගයන්ද හැදෙන්නේ ආසනික් නිසා බවයි. එම රෝග කෙසේ වෙතත් ආසනික් නිසා මානසික රෝග සෑදෙනවා යැයි කිව්වා නම් ජනතාව මීට වඩා විශ්වාස කරන්නට ඉඩ තිබුනි.