Posts Tagged ‘ආශ්චර්ය’

ආසියාවේ ආශ්චර්ය ගැන මොන පම්පෝරි ගැහුවත් ආණ්ඩුව ඉන්නේ වැලේ වැල් නැතිවය. රජයේ සේවකයින්ගේ පඩි නඩි පවා ගෙවන්නේ මාර අමාරුවෙන්ය.

හෙට ඕනෑ මුදල් හොයාගන්නේ  ආදායම් උපදවන හැම රජයේ ආයතනයකම ආදායම අද හවසට සූරා ගෙන  එකතු කරලාය. 

පහුගිය දවස්වල අර්ථසාධක අරමුදලට වැඩේ දෙන්න ගියෙත් ඒ නිසාය. පීබී ජයසුන්දර උදේ පාන්දර තමන්ගේ පු‍ටුවේ වාඩි වී පස්මහ බැලුම් බලන්නේ අදලොක්කාගේත් පැටවුන්ගේත්  වියදමට සල්ලි ටිකක් හොයා දෙන්නේ  කොහොමද කියලාය.හොයා නොදුන්නොත් බඩු බනිස් කියලා ජයසුන්දර හොඳින්ම දන්නවාය.

ආණ්ඩුවේ හොම්බෙන් යන බවට තියෙන  හොඳම උදාහරණය තමා ආණ්ඩුවේ කාර්යාලවල  වියදම් කපා හරින්නට කර තිබෙන නියෝග.

ආණ්ඩුවේ කාර්යාල වලට  පත්තර ගන්න එක තහනම්ය. විදුලි ලාම්පු සීමා කරලාය.  සමහර  කාර්යාල  වලට යනකොට විදුලි පන්දමක් අරන් යන්න වෙනවාය. ඇතුලේ මොකුත් නොපෙනෙන ගානට විදුලි පහන් නිමලාය.එච්චර කලුවරේ ඉඳගෙන ක්ලාර්ක් නෝනාලා මහත්තුරු වැඩ කරන්නේ කොහොමද කියලා හිතෙන ගානට නිමලාය.

මෙහෙම ඉතුරු කරන් ගියොත් එහෙම ඉතුරුව ඇර වෙන මුකුත් ඉතුරු වෙන එකක්  නැත.

 ඒ ඉතුරු කිරිල්ල දැකලා සෞඛ්‍ය ලොක්කන්ටත් ඉතුරු කරන්න හිතිලාය.

උන්දැලාත් දවස් ගානක් කල්පනා කලා කපන්නේ මොනවද කියලා. එක එක දේවල් කපමු කියලා යෝජනා ආවා.

අන්තිමේ තීරණය කරා ලෙඩ්ඩුන්ට දෙන පැරසිටමෝල් පෙත්ත කපන්න.

ඔන්න දැන් ආණ්ඩුවේ ඉස්පිරිතාල වල ලෙඩ්ඩුන්ට දෙන පැරසිටමොල් පෙති ගාන අඩු කරලා.ලෙඩෙකුට පෙති දහයක් ඕනෑ නම් පෙති 5 ක් හරි 4ක් හරි දෙයි.

මාර ඉතුරුවක්. ආණ්ඩුවේ නාස්ති වලින් නවත්තන්න ඉතුරු වෙලා තිබුනේ ඔච්චරයි. පැරසිටමෝල් කපලා ඉතුරු කොරන සල්ලි වලින් පුලුවන් මුලු රටම ආශ්චර්යට අරං යන්න.

ලංකාව වටේටම වරායවල් හදන්න. ලංකාව පුරාම ගුවන් තො‍ටුපල්වල් හදන්න. රට උඩින් මකුලු දැලක් වියුවා වගේ අධි වේගී පාරවල් හදන්න. ග්‍රාමසේවක  කොට්ඨාසෙකට එක ගානේ නෙලුම් පොකුණු හදන්න. ප්‍රාදේශීය ලේකම් වසමකට එක ගානේ නෙලුම් කුලුනු හදන්න. සතියට දෙක ගානේ  දැයට කිරුලු තියන්න. පලාත් සහාවකට එක ගානේ මිහින් ලන්කා එව්වා හදන්න. ඇත්තට පැරසිටමොල් පෙත්තෙන් කොච්චර දෙයක් කරන්න පුලුවන්ද.

සටහන- ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට ගියත් බෙහෙත් ටික ඔක්කොම කොහොමටත් ගන්නේ පුද්ගලික පාමසියෙන්ය. ඒක නිසා ඔයකොටසක් කපාගෙන දෙන ඉතුරු පැරසිටමෝල් පෙති ටිකත් එයාලටම දෙමුද ………………….. ගහ ගන්න.

  
  
වැස්සෙන් අනාත වූ   1,59,648 දෙනෙකුට රුපියල් මිලියන 57 යි. එක්  අයෙකුට රුපියල් 350 යි.  
 
 
මේ දිනවල දිවයිනේ ප‍්‍රදේශ රැසකට ඇද හැලෙන අධික වර්ෂාව නිසා විපතට පත් වූවන් ගණන එක් ලක්ෂ පනස් නව දහස් හයසිය හතලිස් අටක් (1,59,648) දක්වා ඉහළ ගොස් ඇත. විපතට පත් පවුල් ගණන හතලිස් එක් දහස් පන්සියයකට ආසන්නය.
 
ලක්ෂ එක හමාරකට වැඩි පිරිසක් විපතට පත්ව සිටියද ඔවුන්ට සහන සැලසීම සඳහා ආණ්ඩුව වෙන් කර තිබෙන්නේ රුපියල් මිලියන 57ක් පමණි. දළ වශයෙන් එක් අයකුට රුපියල් 350කට ආසන්න මුදලක් පමණි.
 
එහෙත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදිම නිවාස පන්දහසකට වැඩි ප‍්‍රමාණයකට හානි  සිදුව තිබේ. අවතැන් කඳවුරු 59ක් පිහිටුවා ඇති අතර පවුල් 3032කට අයත් 10,811ක් දෙනා ඒවායේ රැඳී සිටිති.
   
  
  
 
 
මන්ත්‍රීන්ට ප්‍රාඩෝ සඳහා මිලියන 1350
  
  
 
ඇමති ධුර නොදරන රජයේ පසු පෙළ මන්ත්‍රීවරු 54 දෙනෙකුට අධි සුඛෝපබෝගී මට්ටමින් සැලකෙන ප්‍රාඩෝ මෝටර් රථ ලබා දී ඇත. ………..
 
ප්‍රාඩෝ වර්ගයේ අලුත්ම  ඩීසල් වාහනයක් රුපියල් ලක්ෂ 420 ක පමණ මුදල් වටිනා කමින් යුක්ත වන අතර එම වර්ගයේ පෙට්‍රල් වාහනයක මිල රුපියල් ලක්ෂ 250 ක් පමණ වේ.
 
 
මන්ත්‍රී වරු 54 දෙනෙකුට ප්‍රාඩෝ පෙට්‍රල් වාහන ලබා දීම සඳහා වැය වන මුදල දල වශයෙන් රුපියල් ලක්ෂ 13500 කි. එනම් රුපියල් කෝටි 135 කි. ( රුපියල් මිලියන 1350 කි.)
 
 ලංකාදීප 2010.12.05
 
 
 සටහන –  ආශ්චර්යක්  කියලා කියන්නේ  පුදුම සහගත දේවලටය. රටේ දරුවන්ගෙන් වැඩි දෙනෙකුන් මන්ද පෝෂණයෙන් පෙළෙද්දී , අත්‍යාවශ්‍ය ඖෂධ නැතිව රෝගීන්  මිය යද්දී , මන්ත්‍රීන් සැනසීම සඳහා මහජන මුදලින් ප්‍රාඩෝ අරන් දීම ආශ්චර්යක් නොවේද?  මේවා දැක දැක නිස්සද්දව සිටීම ඊට වඩා ආශ්චර්යක් නොවේද? අපි ආසියාවේ ආශ්චර්ය වෙන්නේ එහෙමය.