Posts Tagged ‘ආර්ථික ඝාතකයින්’

ආර්ථික ඝාතකයින් රටේ ආර්ථිකය විනාශ කරනවා යැයි වේදිකා මත පපුවට ගසා ගනිමින් මොරදෙන උදවියම ජනතාවට කොළේ වසමින් ඒ කටයුත්ත අපූරුවට කරන අයුරු විස්තර කෙරෙන ලිපියකි මේ. මෙය අප උපුටා නැවත පලකරන්නේ එහි අඩංගු කරුණු හැකිතාක් මෙරට මහජනයා අතරට යැවිය යුතු යැයි අප විශ්වාස කරන බැවිනි. මෙය උපුටා ගත්තේ ලංකා ටෘත් වෙබ් අඩවියෙනි.

පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ගැසට් නිවේදනයක් මගින් ඛනිජ තෙල් කැණීමේදී රටට හිමිවීමට නියමිතව තිබූ 28%ක ප‍්‍රමාණයක් අහිමි වූ බවත් මෙම ජාතික අපරාධයට ඉඩ නොදිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරයි. 

එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුර දිසානායක මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පෙන්වා දුන්නේ, තෙල් කැණීම සඳහා ඉන්දියාවේ කායින් සමාගම සමග ඇති කර ගෙන තිබෙන ගිවිසුම ඉතා දූෂිත බවයි. ඒම ගනුදෙනුව පිටුපස කොමිස් ඇතැයි පෙන්වා දුන් අනුර දිසානායක මහතා ආර්ථික ඝාතකයින් සිටින්නේ වත්මන් ආණ්ඩුව තුළම යැයිද පෙන්වා දුන්නේය.

ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා මෙසේද පැවසීය.

‘‘නෝර්වේ රාජ්‍ය ලංකාවේ සාමය ස්ථාපිත කරන්න නොවෙයි, තෙල් සම්පතේ කළමනාකරණය තමන්ගේ අතට ගැනීමේ අරමුණෙන් මැදිහත් වුණේ.  නොපෙක් සමාගම ලංකාවේ තෙල් සම්පත සම්බන්ධයෙන් සමීක්ෂණයක් කළා. එම සමීක්ෂණයේ දත්ත අපේ රටට නැවත ලබා ගැනීමට සිදු වුණේ විශාල මුදලක් ලබා දීලා.

2007මාර්තු 5වැනිදා පී. බී. ජයසුන්දර මහතා සහ එවකට ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති රොබර්ට්  ඕ බ්ලේක් මහතා ගිවිසුමක් අත්සන් කළා. ඉන් ඇමරිකාව ලංකාවට ඩොලර් ලක්ෂ 4ක ප‍්‍රදානයක් ලබා දුන්නා. එම ගිවිසුම මගින්, අපේ රටේ ඛනිජ තෙල් සම්පත නෙලා ගන්නා ව්‍යූහය සකස් කර දෙන්නත් තාක්ෂණික රෙගුලාසි සකස් කර දෙන්නත් එක්සත් ජනපදය බාර ගත්තා.

 ඔබ දන්නවා ඇමරිකාව අද ලෝකයේ රටවලට තම යුධ බල පරාක‍්‍රමය පතුරුවන්නේ තෙල් සම්පත ඉලක්ක කර ගෙන. ඇෆ්ගනිස්ථානයට මැදිහත් වුණා. මැද පෙරදිගට මැදිහත් වෙමින් ඉන්නේ ඒ අරමුණෙන්. එම එක්සත් ජනපදයට තමයි ලංකාවේ තෙල් කැණීමේ ආයතන ව්‍යූහය සහ රෙගුලාසි සකස් කරන්න බාර දුන්නේ.

ඉන් පසුව තෙල් කැණීම් සඳහා ආයෝජකයින් කැඳවන්න ප‍්‍රචාරක කටයුතු ඇරඹුවා. ලන්ඩන්, හූස්ටන්, ක්වාලාලම්පූර් නගරවල එම ‘රෝඞ් ෂෝ’ පැවැත් වූවා.  ඒ වෙලාවේ ඛනිජ ලේකම් කාර්යාලය තිබුණේ ෆවුසි ඇමතිතුමා යටතේ. එතුමා කිව්වා සමාගම් 200කට වඩා ඉල්ලූම් පත‍්‍ර බාර දීලා තිබෙනවා කියලා. අපි ඇහුවා මෙම ප‍්‍රචාරක කටයුතුවලට කොතරම් මුදලක් වියදම් වුණාද කියලා. නමුත් කිව්වේ නැහැ. නමුත් අප සොයා බැලූ විට දැන ගන්න ලැබුණා, මේ සඳහා මුදල් වියදම් කර තිබෙන්නේ ප‍්‍රංශයේ ටුටාල් සමාගම කියලා. හූස්ටන් නගරයේ පැවැත් වුණු ප‍්‍රචාරක කටයුතුවලට රොබල්  ඕ බ්ලේක් මහතා පෞද්ගලිකවම සම්බන්ධ වුණා.

ඛනිජ තෙල් ඇතැයි හඳුනා ගත් බිම් කොටස් තුනක් සඳහා ටෙන්ඩර් කැඳවූවා. ඛනිජ තෙල් බැරල් බිලියන 14ක් තිබෙන බව සමීක්ෂණවලින් සොයා ගෙන තිබෙනවා. ආසන්න වශයෙන් ලංකාවේ එක් පවුලකට බැරල් ලක්ෂ 14ක්. ඉන් එක කැබැල්ලකට සමාගම් තුනක් ටෙන්ඩර් ඉදිරිපත් කළා. ඉන් ඉන්දියාවේ කායින් සමාගම තෝරා ගත්තා.

මේ සමාගමත් එක්ක ගිවිසුම් අත්සන් කළ යුතුයි. ඛනිජ තෙල් කැණීම අපේ රටට අලූත්. ඒ ක්ෂේත‍්‍රයේ කළමනාකරණ ඥානයක් ඇති පිරිස් අඩුයි. එය අප පිළිගත යුතු යථාර්ථයක්. ඒ නිසා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂවලින් සැදුම්ලත් කමිටුවක් සකස් කොට එම කමිටුවේ අධීක්ෂණය යටතේ මේ කටයුතු සිදු විය යුතුයි කියා යෝජනා වුණා. නමුත් රාජපක්ෂ පාලනය එය ගණන් නොගෙන හිතුවක්කාකරී හා අධිපතිවාදී ලෙස ඉන්දියාවේ කායින් සමාගම සමග ගිවිසුම අත්සන් කළා.

 මම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දුන්නා, මේ ගිවිසුම අත්සන් කරන්න එපා, එය අදාළ ආයතනවල අධීක්ෂණය සඳහා කාලය ලබා දෙන්න කියලා. නමුත් පාර්ලිමේන්තුව තුළ, කැබිනට් මණ්ඩලය තුළ, ආණ්ඩුව තුළ, ඛනිජ තෙල් ක්ෂේත‍්‍රයට අදාළ ආයතනවල පමණක් නොවෙයි, අඩුම තරමේ ඛනිජ තෙල් ඇමතිවරයාවත් දැනුවත් නොකර මෙම ගිවිසුම අත්සන් කළා.

රටේ වටිනාම සම්පත සම්බන්ධයෙන් රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කළේ එවැනි ක‍්‍රියාමාර්ගයක්. එහෙම කළේ තෙල් සම්පත සමග බැඳී පවතින කොමිස් නිසා. අදාළ සමාගම ජනාධිපතිවරයාට ඩොලර් මිලියනක චෙක්පතක් දුන්නා. ගොමවත් ඒ මුදලට ගන්න බැහැ.

මෙම ගිවිසුම සකස් කළේ ඉන්දියාවේ ෆාගෝ සමාගම. ගිවිසුම සකස් කිරීම සඳහා එම සමාගමට රුපියල් කෝටි 12ක් ලබා දී තිබෙනවා. මේ ගිවිසුම පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලය, ආණ්ඩුවේ මන්ත‍්‍රී කණ්ඩායම තුළ, අදාළ ආයතනවල සාකච්ඡා නොකර අත්සන් කළ ගිවිසුමක්.

මේ ගිවිසුම හැදූෆාගෝ සමාගම දැන් කායින් සමාගමේ ලංකාවේ නියෝජිතයා විදියට කටයුතු කරනවා. කල්පනා කර බලන්න. මෙම ගිවිසුම සකස් කිරීමත් සමග වෙබ් අඩවියක් නිර්මාණය කරන්න  නියමිතව තිබුණා. මේ කටයුතු සිදු වුණේ 2008. අවුරුදු තුනකට වඩා කල් ගොස් තිබෙනවා, ඔබට අදත් අවශ්‍ය නම් ගිහින් බලන්න පුළුවන් වෙබ් අඩවියේ තිබෙන්නේ coming  Soon කියලා.

මේ ගිවිසුමේ ප‍්‍රධාන වගන්තියකට අනුව ලංකාවේ රජයේ නියෝජිතයින් තිදෙනෙක්, කායින් සමාගමේ නියෝජිතයින් තිදෙනෙක් ඇතුළත් වන පරිදි කළමනාකරණ කමිටුවක් පත් කළ යුතුයි. ගිවිසුම අත්සන් කර වසර තුනයි. තවමත් එම කමිටුව පත් කර නැහැ. ඒ වගේම මේ ගිවිසුමට අනුව රාජ්‍ය භාගය ලෙස ලැබෙන්නේ 10%යි. තෙල් බැරල් දහසක් ගොඩගත්තොත් 900ක්ම කායින් සමාගමට. ලංකාවට ලැබෙන්නේ 100ක් පමණයි.

මේ සම්බන්ධයෙන් අප ප‍්‍රශ්න කළ විට ආණ්ඩුවේ මහත්තුරු කිව්වේ රාජ්‍ය භාගය 10%ක් වුණත් රජයට අය විය යුතු බදු සමග බැලූවාම 38%ක් ලැබෙනවා කියලා. එසේ තිබියදී 2008අලූත් පනතක් ගෙනාවා. මෙම පනත ක‍්‍රියාත්මක වෙන්නේ බැසිල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශය යටතේ.

 කිසියම් ව්‍යාපෘතියක් ඇමතිවරයාගේ කැමැත්ත මත ක‍්‍රම උපායික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස නම් කිරීමේ හැකියාව මේ පනත මගින් ඇමතිවරයාට ලබා දෙනවා. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා විසින් පසුගිය පෙබරවාරි 29වැනිදා කායින් සමාගමට දුන් තෙල් ගවේෂණ ව්‍යාපෘතිය ක‍්‍රම උපායික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස නම් කළා.

 ඒ වගේම එම පනත මගින්, අදාළ ක‍්‍රම උපායික ව්‍යාපෘතියට දෙන සහන මොනවාදැයි තීරණය කිරීමේ බලය ඇමතිවරයාට ලබා දී තිබෙනවා. ඒ අනුව පසුගියදා අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් කායින් සමාගමට පනවා තිබූ සියලූම බදු අහෝසි කරනු ලැබුවා. නිෂ්පාදන බදු, සංස්ථාපිත බදු, රඳවා ගැනීමේ බදු, එකතු කළ අගය මත බදු, වරාය හා ගුවන් තොටුපළ බදු ඇතුළු සියලූම බදු ඉවත් කළා. දැන් ඛනිජ තෙල් කැණීමෙන් අපේ රටට ලැබෙන්නේ රාජ්‍ය භාගය ලෙස සඳහන් කර තිබෙන 10%ට පමණයි.

සමාගම තෝරා ගත් පසුවයි, මේ බදු සහන දුන්නේ. බදු සහන දෙනවා නම්, දිය යුතු නම් එය කළ යුතුව තිබුණේ ටෙන්ඩර් කැඳවීමට පෙර. එසේ වූවා නම් මීට වඩා වැඩි සමාගම් ප‍්‍රමාණයක් ඉදිරිපත් වෙන්න තිබුණා. ඒ වගේම අපේ රටට ලැබෙන රාජ්‍ය භාගය මීට වඩා වැඩි අගයක් සඳහන් කරන්න තිබුණා. නමුත් ටෙන්ඩර් කැඳවීමේ ලියවිල්ලේ මෙම බදු සහන පිළිබඳව කිසිවක් සඳහන් වෙන්නේ නැහැ.

බැසිල් රාජපක්ෂට ඉන්දියාවේ ඥාති ගනු දෙනු තිබුණත් දෝණියැන්දලා ඉන්දියාවේ ජාවාරම්කරුවන් එක්ක විවාහ වුණත් අපට ප‍්‍රශ්නයක් නැහැ. දෑවැදි දෙනවා නම් දිය යුත්තේ ඔහුගේ පෞද්ගලික ධනයෙන්. ජාතික සම්පත්වලින් දෑවැදි දෙන්න ඔහුට අයිතියක් නැහැ.

ආණ්ඩුව කියනවා ආර්ථික ඝාතකයින් ඉන්නවා කියලා. මොවුන් නොවේද ආර්ථික ඝාතකයින්. මේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරුන් හතර දෙනා විතරයි ඊට විරුද්ධ වුණේ. එක්සත් ජාතික පක්ෂය නිහඬව සිටියා. සන්ධානයේ සියලූ දෙනා ඊට පක්ෂව ඡුන්දය දුන්නා.

එහෙම නම් කවුද ආර්ථික ඝාතකයින්. මේ ගැසට් හැදූඅය සහ ඒවා සම්මත කළ අය නොවේද ආර්ථික ඝාතකයින්. ජනාධිපතිවරයා කියා තිබුණේ රට තුළ ආර්ථික ඝාතකයින් ඉන්නවා කියලා. ආර්ථික ඝාතකයින් ඉන්නේ එතුමා ළඟ, එතුමාගේ පවුලේ, එතුමාගේ කැබිනට් මණ්ඩලයේ, එතුමාගේ ආණ්ඩුවේ.

රජයට තනිව මේ සඳහා ආයෝජනය කරන්න බැරි වෙන්න පුළුවන්. තෙල් කැණීම සඳහා ආයෝජනය ඩොලර් බිලියන තුනයි. නමුත් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය ඩොලර් බිලියන 4.4ක් වැය කරන්න ඇස්තමේන්තු කරලා තිබෙනවා. මොකකකටද ප‍්‍රමුඛතාව දිය යුත්තේ? තෙල් කැණීමටද නැත්නම් එංගලන්ත මහ රැජින ඇවිත් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීතුමාට ‘උම්මා’ එකක් දෙන එකටද?

තෙල් කැණීම මුළුමනින්ම රාජ්‍ය සමාගමකින් කරන්න  ඕන කියලා අපි කියන්නේ නැහැ. නමුත් සලකා බැලිය යුතු අවස්ථා කිහිපයක් තිබුණා. අපේ රටේ සමාගමක් තමන්ගේ වියදමෙන් පේරාදෙණිය සරසවියේ විද්‍යාර්ථයින් 14දෙනකු තෙල් කැණීම සම්බන්ධයෙන් විදේශ පුහුණු සඳහා පිටත් කළා.

මෙම ක්ෂේත‍්‍රයේ තමන්ගේ මුදල් ආයෝජනය කරන්න එම සමාගම සූදානමින් සිටියා. ඒ වගේම මෙම තෙල් කැණීම රජයට තනිවම කරන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් රාජ්‍ය සහ දේශීය සමාගම් ඒකාබද්ධව කරන්න පුළුවන්ද? රජය සහ විදේශීය සමාගම් ඒකාබද්ධව කරන්න පුළුවන්ද? දේශීය සහ විදේශීය සමාගම් ඒකාබද්ධව කරන්න පුළුවන්ද කියලා සොයා බැලිය යුතුව තිබුණා.

ඒ එකක්වත් කරන්න බැරිනම් තමයි මුළුමනින්ම විදේශීය සමාගමකට දිය යුතුව තිබුණේ. නමුත් එහෙම කළා නම් ලැබෙන කොමිස් මුදල අඩු වෙනවා. ඒ නිසායි මෙවැනි ව්‍යාපෘතියකට ගියේ. මීට විරුද්ධව සියලූ දෙනා පෙරට ආ යුතුයි කියා අප විශ්වාස කරනවා.’’

http://www.lankatruth.com/sin/index.php/news/local-news/12312-2011-08-21-08-23-28

Advertisements
 
ආර්ථික ඝාතකයින් ලංකාවේ ආර්ථිකය කඩා වැට්ටවීමට කටයුතු කරන බව   විමල් වීරවංශ ඇමති තුමා පහු ගිය දොහක කියලා තිබුනා. රටටත් , ජනතාවටත් හානි කරන මේ  ආර්ථික ඝාතකයින්ට දැඩි දඬුවම් කරන්න ඕනේ බව එතුමා වැඩි දුරටත් කිව්වා.
 
එතුමා ඊට උදාහරණයක් විදිහට අරගෙන තිබුනේ බාල තෙල් ගෙන්වපු නිලදාරි. ( හෙහ්,හෙහ් ඉන්ධන  ඇමතිතුමා ඒකට සම්බන්ධ නෑ හොඳේ)
 
හැබැයි එතුමා නම් කරලා  තිබුනේ නැහැ මේ ආර්ථික ඝාතකයෝ කවුද කියලා. සමහර විට එතුමා හරියටම විස්තරයක් දන්නේ නැතිව ඇති . ඒක නිසා අපි හිතුවා එතුමාට උදව් කරන්න ඕනේ කියලා අපිට පුලුවන් විදියට.
 
 දැන් මේ ආර්ථික ඝාතකයෝ කියන්නේ මහජන මුදල් නාස්ති කරමින් වංචා දූෂණ කරමින් රටේ ආර්ථිකය වට්ටන උදවියනෙ.මෙහෙම කට්ටිය කීප දෙනෙකුන්ගේම විස්තර අපිට ලැබිලා තියෙනවා.
 
හැබැයි මෙයාල නම් ඔය පොඩි පහේ ආර්ථික ඝාතකයෝ.අර හෙජිං කට්ටිය වගේ ලොකු ලොකු ගැහිලි නම් නැහැ.අඩුම තරමෙන් තාම නැහැ.එහෙම නැත්නම් අපිට දැන ගන්න නැහැ.
 
ඔන්න ඇමතිතුමා ආර්ථික ඝාතකයින්ට කෙලින්න හොඳ වෙලාවක්.
 
1. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැ‍ටුප් ගන්න ආරක්ෂක සේවකයෝ දෙන්නෙක් කඩුවෙල චන්දෙට වීරවංශ පාටියෙන් ඉල්ලන අයගේ සපොර්ට් එකට බරටම වැඩ. එයාල සංස්ථාවෙන් පඩි අරගෙන වැඩ කරන්නේ කඩුවෙල. නම් ගම් දෙන්න පුලුවන්. මහජන මුදල්වැරදි විදියට භාවිතා කරන මේ දෙන්නා ගැන ඇමතිතුමා මොකද කියන්නෙ.
 
2. මේ ජාතියෙම තව ආර්ථික ඝාතකයෙක් , ඉංජිනේරු සංස්ථාවේ මානව සම්පත් කළමනාකාර තුමා. එයාගෙත් මේ දවස් වල ඩියුටිය තියෙන්නේ කඩුවෙල. නිල රථයෙන් තමා පෝස්ටර් එහෙම අදින්නේ. විමල් ඇමති තුමා මෙයාවත් ආර්ථික ඝාතකයින්ගේ ගොඩට දාමුද?
 
3. ඒ දෙගොල්ලම ආර්ථික ඝාතකයෝ නොවෙයි නම් මෙන්න නියම බඩුවක්. නියම ඝාතකයෙක්. වේලිලා තියෙන ආර්ථිකය උලා කන ආර්ථික මී හරකෙක්. පුලුවන් දෙයක් කරන්න ඇමතිතුමෝ ,මෙයාලගෙන් ආර්ථිකය බේරලා දෙන්න.

මේ ඝාතකයා පහුගිය දවසක මෙයාගේ ප්‍රයෝජනයට මහජන මුදල්  රුපියල්  කෝටි දෙක හමාරකට වැඩිය වියදම් කරලා වාහන තුනක් ගෙන්නුවා. ටොයොටා ලෑන්ඩ් කෘෂර් දෙකක්, ටොයොටා ක්‍රවුන් කාර් එකක්. ඔබ තුමාලාම කියන විදියට රටේ සංවර්ධනයට වියදම් කරන්න තියෙන මුදල් , මේ අමාරු වෙලාවේ මේ විදියට  නාස්ති කරපු ඝාතකයාට හොඳ පාඩමක් උගන්වන්න ඇමති තුමා හොඳේ.

මේ ඝාතකයා  වෙන කවුරුත් නෙවේ අති ගරු හිටපු විප්පලවාදි වීරවංශ උපවාස සූරින්මැයි.
 
සටහන- තමන් මහජන මුදල් කෝටි ගනන් නාස්ති කරන ගමන් නිකම් බොරුවට කොහෙවත් නැති ආර්ථික ඝාතකයෝ ගැන බයිලා ගැසීම ප්‍රවේශමෙන් කල යුතු දෙයක් ඇමති තුමා.