නැවත වතාවක් මහා දේශප්‍රේමි සැණකෙලියක් ඇරඹී තිබේ.

රූපවාහිනි නාලිකවල ගිනි විසි වෙන දේශප්‍රේමි කතා ඇසේ. ගුවන් විදුලි නාලිකාවල උදේ සිට රෑ වන තෙක් දේශප්‍රේමී ,දේශාභිමානි ගී ඇසෙන්නේ   70 ගණන් වල වගා සංග්‍රාම කාලයේ දේශාභිමානි ගී ඇසුනාමෙනි. ඒ කාලයේ සිටි පාලකයෝ උන් බාසුමති හාලේ බත් කද්දී ජනතාවට මඤොක්කා කැවූහ. වෙනසකට ඇත්තේ දැන් පාලකයින් ජනතාවට කවන්නේ ඊනියා දේශප්‍රේමයේ  වස මිශ්‍ර කල පිදුරු වීමයි.

ආණ්ඩුව ලබන 27 දා මහා දේශප්‍රේමී අරගලයක් සඳහා  ජනතාව වීථි වලට කැඳවමින් සිටියි.  ඒ වෙනුවෙන් වැ‍ටුප් සහීත නිවාඩු, නොමිලේ ප්‍රවාහන පහසුකම් හා බාගෙට කුණු වූ බත් පැකට් පමණක් නොව අරක්කුද යහමින් සැපයෙනු ඇත.

ඒ කුමකටද?

27දා ජීනිවාහි ඇරඹෙන මානව හිමිකම් කොමිසම් සභා සැසිවාරයේදී ලංකාව මතට න්‍යෂ්ඨික බෝම්බයක් හෙලීමට යෝජනාවක් සම්මත කර ගනියිද? එසේ නැත්නම් ලංකාව සුනුවිසුණු කරන හමුදා මෙහෙයුමකට බටහිර බලවතුන් සූදානම් වෙයිද?

එසේත් නැත්නම් වීරවංශලාගේ මුකරි කටවලින් කියන පරිදි ලංකාවේ ජනාධිපතිවරයා ඇතුලු නායකයින් කුදාලාගෙන ගොස් එල්ලීමට හෝ විදුලි පු‍ටුවේ යැවීමට පිඹුරුපත් සැකසෙමින් තිබේද?

මේ සියල්ලටම පිලිතුර නැත යන්න බව අපිටත් වඩා හොඳින් දන්නේ රාජපක්ෂලා හා වීරවංශලාය. ආර්ථික ක්ෂේත්‍රයේ ඔවුන් කියන ඕනෑම දෙයක් දෙකට නැමී පිලිගන්නා රාජපක්ෂලා එලවීමට බටහිර බලවතුන්ට කිසිම උවමනාවක් නැත.

මේ ජිනීවා සමුලුවේ සිදු වෙන්නට යන්නේ , ශ්‍රී ලංකා ආණ්ඩුව  විසින්ම පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසංස්කරණ කොමිසම විසි න් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඒ ආණ්ඩුවෙන්ම ඉල්ලීමයි. ඒ හැර ආණ්ඩුව පෙන්වීමට උත්සාහ දරන අන්දමේ මහා කුමණ්ත්‍රනයක් නැත. නමුත් ආණ්ඩුවට අවශ්‍ය එවැන්නක් කර ගැනීමට හෝ අඩුම තරමේ එවැනි කුමන්ත්‍රණයක් ඇති බවක් මෙරට ජනයාට පෙන්වීමටය.

මේ මහා දේශප්‍රේමි වලිප්පුව ඒ වෙනුවෙනි.

ආණ්ඩුවේ ඉහල සිට පහල දක්වා දෝරේ ගලන්නා වූ දූෂණය, වංචාව හා නාස්තියත් කළමනාකරණයේ නොහැකියාවත් නිසා දිනෙන් දින අගාධයට යන්නා වූ ආර්ථිකය හමුවේ නැග එන ජනතා විරෝධය  යටපත් කර ගැනීම සඳහා මේ අසමත් ආණ්ඩුවට වෙන විකල්පයක් නැත. ඔවුන් දන්නේ එපමණකි. දේශප්‍රේමය අලෙවි කිරීම පමණි.

මේ මානව හිමිකම් සභාවාරය එනතෙක් ආණ්ඩුව බලා සිටියේ නො ඉවසිල්ලෙනි. ඒ අන්කිසිවකට නොව එයට මුවා වී ඉතිහාසයේ කවර කලකටත් වඩා වූ ප්‍රතිශතයකින් ඉන්ධන මිල වැඩි කර ගැනීමටය. විදුලි මිල ගෑස් මිල වැඩි කර ගැනීමටය. හරියට කල් යල් බලා ජිනීවා සමුලුවට දින කිහිපයක් තියා මිල වැඩි කලේ  එබැවිනි. එවිට එම මිල වැඩි කිරීමට එරෙහි වන ජනතා හඬ විදුලි පු‍ටු හා කුමන්ත්‍රණ ගැන ගල් පැලෙන බේගල් කියා යටපත් කල හැකි බවට හොඳ හැටි ගනන්  බලාගෙනය.

එම නිසා මේ 27දා ජනතාව පාරට බැසීමෙන් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පමණක් නොව ජනතාවද පල් මෝඩයන් බව නැවත වතාවක් ඔප්පු වීමයි. ඒ හැර  අන් දෙයක් නැත.

Advertisements
Comments
  1. tom and jerry says:

    දිවයින කියන හැටියට නම් “මස් කොක්කේ” එල්ලන්න ලැහැස්තිය. අනේ මන්ද? වැරද්දක් කරල නම් එල්ලුවට අපට මොකෝ? නායකයො ඕනි නම් තව 224 දෙනෙක් ඉන්නෙ.

  2. Raigama says:

    අනේ ඇට මැස්සෝ! සිරිමාගේ කාලේ මයියොක්කා කාපු එක ගැන අද අවඥ්යාවෙන් කියන එකමයි කාරිය. දේශීය කර්මාන්ත ටික විනාශ කරලා, ආනයන ආර්ථිකයකින් යැපෙන අද වගේ දවසකත් මේක නොතේරෙන හැටි. පිටරටින් බඩු ගෙන්වන කොට, රුපියල බාල්දු වන තරමට බඩු ගාණ ඉහල යනවා. සිරිමට විශාල ආර්ථික දැනීමක් නොතිබුනත්, ඇයගේ වටේ හිටපු කට්ටිය කරන්න හැදුවේ මේකේ අනික් පැත්ත.

    • Buwa says:

      https://sihisatahan.wordpress.com/2011/04/07/blogpost6/

      සිරිම ල ජනතාවට මයියොක්කා කැව්වා මිසක් , හරි හමන් වැඩපිලිවෙලක් ඇතුව දේශීය නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු කලේ නැ .ජේ ආර් විවෘත ආර්ථිකය ගෙනාවයින් පස්සේ ශ්‍රි ලංකාව සහ 90 දශකය වෙනකන් සිරිමා ලා අනුගමනය කරපු ආර්ථික ප්‍රතිපත්ති වල හිරවෙල හිටපු ඉන්දියාවත් අතර 89/90 කාලවලදි දකින්න තිබුන වෙනස චානුක වත්තේගම මහත්තය තමන්ගේ අත්දැකීම් ආශ්‍රයෙන් ලිපියක් ලියල තිබුනා හැකිනම් කියවල බලන්න (උඩ තියෙන්නෙ ලින්ක් එක ) , ප්‍රශ්නය තියෙන්නෙ ආර්ථික ක්‍රමයේ නෙවෙයි භාවිතාවේ . ජේ.ආර් චරිතය නැතුව සිරිමා-ප්‍රේමදාස-චන්ද්‍රිකා-මහින්ද පිලිවෙලට ආව නම් , අපි මේ බ්ලොග්ග කෙරුවාව තියා අන්තර්ජාලයක් ගැන දන්නෙත් නැ , අලයක් බතලයක් තම්බගෙන කාල මුවන්පැලැස්ස අහල දොයි !

      • Raigama says:

        සිරිමාගේ ආණ්ඩුව පරමාදර්ශි එකක් කියල මා කියන්න උත්සහ කලේ නැහැ. නමුත් මා කුඩා උදාහරණයක් කියන්නම් “විවුර්ත” ආර්ථිකය ගැන. ඔස්ට්‍රේලියාව විවුර්ත ආර්ථිකය, නිදහස් වෙළදාම පිළිගන්න රටක්. ඕස්ට්‍රේලියාවේ පසුගිය අව්රුද්දෙ හමාගිය සුළි සුළගින් ක්වින්ස්ලන්තයේ කෙහෙල් වගාව 80-90% ක් පමණ විනාශ උනා. මෙහෙ කෙහෙල් කිලෝව ඩොලර 20.00 ට වඩා ගණන් ගියා (සාමාන්‍ය මිල ඩොලර 2.00 පමණ). නමුත් අර කෙහෙල් වගාවන් නැවත පුනරුත්තාපනය කරන තුරු අව්ව්රුද්දක් විතර අප කෙහෙල් කෑවේ අර ගානට. මිල අඩු කරන්න කෙහෙල් පිට රටින් ගෙන්නුවේ නැහැ. එහෙම කළා නම් අර කෙහෙල් වගාවන් නැවත ලාබ ලබන තත්වයට ගන්න බැහැ කියලා “කෙහෙල් වගාකරුවන්ගේ සංගමය” විරෝධය පළ කළා. දියුණු වන රටවල් අනුගමනය කරන “විවුර්ත” ආර්ථිකය දියුණු රටවල් ක්‍රියාත්මක කරන්නේ වෙන ආකාරකට. ඔබ කියන පරිදි අරම නොවන නම් මෙහෙම වේවි කියන කතන්දරයට මා එකඟ නැහැ. ඒක සිහින ලොවක්. තව ගොඩක් දේවල් නොවෙන්නත් තිබුනා, වෙන්නත් තිබුනා.

    • ඉන්ද්‍රජිත් says:

      මේකේ අනික්පැත්ත කලත් මේකම කලත් ලංකාවේ දේශපාලකයොයි නිලධාරි හැතිකරෙයි ලබාගන්නේ එකම ප්‍රතිපලයයි. ඒ තමයි අපිව බාගෙට බඩගින්නේ තියන එක. හැත්තෑ ගණන්වල මුල් හරියේ ළමා කාලයේ හොඳම හරිය ගතකල මට එදා තිබුන තත්වය තවම මතකයි. එදා අපේ තාත්තට යන්තම් යමක් කරගන්න ආර්ථික ශක්තියක් තිබිලත් අපට කිරිපිටි පැකට් එකක් ගන්න බැරුව තාත්ත පෝලිම් වල තැපලා හිස් අතින් එන හැටි මට මතකයි. එක වරක් කොහෙන්දෝ මාළු ටින් එකක් ගෙනැල්ලා, ඒක බලන්න වටපිට ගෙවල් වල අයත් ගෙදරට ගොඩවුන හැටි…. මට බය මගේ දරුවටත් හෙට ඒ වගේ කාලයක් අත්දකින්න වෙයිද කියලා. රටේ ආර්ථිකය හසුරවන්න පත්කරලා තියෙන මොළ ටික කරගෙන යන හැටියට එහෙම දවසක් අත ළඟ කියලා හිතෙනවා.

      • Raigama says:

        ඔබගේ කතාව මට තේරෙනවා ඉන්ද්‍රජිත්. ලංකාව හැර මාත් සංවෘත ආර්ථිකය තිබුන රටක ජිවත් වෙලා අත්දැකීම් තියනවා. මේක දැන් ඇට මැස්ස කියන්න හදපු දෙයින් වෙනතක යන්නේ. දේශීය කර්මාන්ත රැක ගන්න නොයෙක් “සම්බාධක” විවිධ රටවල් වල තියනවා. ඉන්දියාව හෝ චීනය කරන නිෂ්පාදන සමග තරඟ කලොත්, ලංකාවේ කෘෂි කර්මාන්තය නංවන්න කවදාවත් පුළුවන් වන එකක් නැහැ. චීනයෙන් ආහාර බෝග ගෙන්වලා අඩු මිලට ජනතාවට කන්න දෙන්න පුළුවන් කම තිබුනත්, කෘෂි කර්මාන්තයෙන් යැපෙන පවුල් වලට වෙන විකල්ප රස්සා තියනවද? ජනතාවට හිරිහැරයක් නොවන පරිදි මේ දෙක අතර (ආනයනය හා දේශීය නිෂ්පාදන) සමතුලිත තාවයක් ඇතිකර ගැනීම ජනතාව ගැන හිතන රජයක කාර්යයක්. ඔස්ට්‍රේලියාව කෘෂිකර්මාන්තයෙන් දියුණුම රටක්. නිෂ්පාදන වල ගුණාත්මක බව හරිම ඉහලයි. නමුත් ශ්‍රමික මිල ඉහල නිසා, නිෂ්පාදන වියදම සැරයි. දැන් දැන් චීනයෙන් එන ලාබ, කෘෂි නිෂ්පාදන හා තරඟ කිරීමට මෙහෙ ගොවියන්ට සිදුවෙලා තියනවා. දැනට පිට රටින් ගෙන්වන්නේ සුළු ප්‍රතිසතයක් උනත්, එයත් නතර කල යුතුයි කියන මතයේ තමයි ගොවියන් ඉන්නේ.

        • ඉන්ද්‍රජිත් says:

          පටන්ගත් කතාවෙන් එපිට ගියත්, විදේශ වෙළඳාම ගැන කතාවට ආපු නිසා අවසර ලැබෙනවානම් මම අහපු දෙයක් කියන්නම්. දැන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වියදම් පිරිමහන්න බෙහෙත් නිකුත් කිරීමේ සීමාවන් පනවන්න යනබව කියවෙනවා. ඒ අතරේම කියනවා තීරුබදු සහන යටතේ (ඉන්ධන නාස්ති කරන) වාහන ගෙන්වීමේ සීමාවන් අඩුකර, එම සහනය ලැබෙන ශ්‍රේනීන් ගණන වැඩි කරන්න යනවා කියල. මේ විදියට කිරීමෙන්, රටේ ප්‍රමුඛතා ගැන මේ අයගේ ස්ථාවරය පේනවා. මට රටේ අනාගතය ගැන බය ඒකයි. හොඳටම විශ්වාසද මෙයාලටත් ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය හසුරවන අයට තියෙන දැක්ම තියෙනවා කියල?

    • kevin perera says:

      //ආනයන ආර්ථිකයකින් යැපෙන අද වගේ දවසකත් මේක නොතේරෙන හැටි.//
      Raigama ඔයාට මාර තේරීමක් නේ තේරෙන්නෙ.ඕවා ඇට මැස්සා කියන ඕවා ගනන් ගන්න එපා සමහරුන්ට නොදැනුවත් කම ආභරණයක්ලු උඹට මචං හොඳට තේරිලා තියනව කියල පේනව

  3. srilanka94 says:

    මේකනේ මචං වැඩේ උඹ විවේචනය කරකර ඉන්නවා මිසක් විසඳුම් ඉදිරිපත් කරන්නැහැනේ. මෙන්න මෙහෙමයි…මෙහෙම මෙහෙමයි…මේක වැරදියි….මෙහෙම තමයි හරි..මෙහෙම කලොත් වැරදියි….මෙහෙම කොලානම් තමයි හරි….
    උඹ ලඟ හොඳ විසඳුම් තියෙනවනම් අපිටත් බලාගන්න එක්ක දාපන්කෝ. හැබැයි පුතෝ ප්‍රායෝගික විසඳුම් වෙන්න ඕන.

    • ඉන්ද්‍රජිත් says:

      ඔය කියන හැටියට නම් සියලුම විරෝධතා ප්‍රකාශන ක්‍රම වෙනුවට ආර්තිකවිද්‍යා දේශපාලන විද්‍යා රාජ්‍යතාන්ත්‍රික උපක්‍රම පන්තිත් පවත්වන්න වෙනවා. අනේ පිං ඇති. එහෙම නම් එපා. අපට බ්ලොග් එක බලන්න පුළුවන් වෙන්නත් එපැයි. ඔයාට ඕනනම් ඒවගේ සබ්ජෙක්ට් වලට වෙන වෙබ්සයිට්ස් තියෙනවානේ. අනික් එක මේවා කරවන උන් ඇටමැස්සලට අපට වඩා ඔය හැමදේම දන්නවා. උන්ට ආචාර්ය පට්ටම් තියෙන්නේ බ්ලොග් වලින් ටියුෂන් ගන්න නෙවෙයිනේ…

    • අප්පුවා says:

      ඒක නං මසුරං කතාව.මුං ගිරවු වගේ දොඩවනවා විතරයි මේක කොහොමද කරන්නේ කියලා කෙලින්ම කියන්නේ නැහැ.

      • tom and jerry says:

        ඉස්සරවෙලාම දූෂණ සිදුකරන, අල්ලස් ගන්න, කොමිස් ගහන දේශපාලකයන්ට චීනයේ ක්‍රමයට දඬුවම් කරල පටන් ගන්න ඕනි. කියන්න බලන්න මේ රටේ එහෙම දේශපාලකයන්ට මොන විදිහක වත් දඬුවමක් දීල තියෙනව ද කියලා!

        ඇට මැස්සා කරන්නේ වැරදි පෙන්වා දෙන එක. ඒකත් රට හදන්න පුලුවන් ක්‍රමයක් තමයි. ඒත් වැරදි පිලිගන්නෙ නැති මහින්ද වගේ අයගේ වැරදි පෙන්නලා වෙන සෙතක් නැහැ.

  4. maathalan says:

    එකෙකුටවත් නොතේරෙන දේ නම්. කිසිම දෙයක් වෙන්නේ නෑ. ඔතන කරන්න යන්නේ අර දෙසැම්බර් වල අලි දක්වපු වාර්ථාවේ තිබෙන කරුණු ක්‍රියාත්මක කරන්න කියලා බල කිරීමක් විතරයි. බල කිරීමකටත් මෙච්චර බයනම්. නඩු දැම්මොත් කොහොම තියෙයිද. මෝඩ ජනතාව අන්දන එක රජය සහ මාධ්‍ය නියමෙටම කරනවා. ඔය සමුලුවෙන් වෙන රෙද්දක් නෑ. සම්බාධක දාන්නෙත් නෑ. එජාපයටත් වඩා කිසිම අවුලක් නැතුව බටහිරට අවශ්‍ය කරන දේ ඉටුකරන මේ ආන්ඩුව එලවන්න උන්ට කිසිම අවශ්‍යතාවයක් නෑ. නැතිවෙච්ච ජනප්‍රියතාව ඇතිකරගැනීමේ මාකටින් වලට අහුවෙන්න එපා…

  5. gadfly says:

    ඔන්න කට්ටියටම සුබ ආරංචියක්

    27 දා මාතා චිත්‍රපටිය පෙන්නවලු ටිකට් එකේ මිලෙන් බාගයක් අය කරලා. දැන් උද්ඝෝෂණය ඉවර වෙලා බාගේ ටිකට් එකක් අරං මාතා බලලම ගෙදර යන්න පුලුවන්. හැබැයි ඉතිං දැන් පාන් ගෙඩියකිනුත් බාගයක් තමා ගෙදර අරං යන්න වෙන්නෙ.

    • Buwa says:

      දේශප්‍රේමී අපි පාන් කන්නේ නෑ ඩෝ ! දැන් එලවලු ලාභයි අපි කන්නේ එලවලු විතරයි

  6. @”70 ගණන් වල පාලකයෝ බාසුමති හාලේ බත් කද්දී ජනතාවට මඤොක්කා කැවූහ.” &
    “හරි හමන් වැඩපිලිවෙලක් ඇතුව දේශීය නිෂ්පාදනය වැඩි කරන්න කටයුතු කලේ නැ”
    – මුලුමනින්ම විරුද්ධයි.ඒ ආර්ථික ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක උනා නම් අද අපි දියුණු රටක්.දීර්ඝ පිළීතුරකට වේලාව මදි.මේ ගැන ඉක්මනින් ම මේඝයේ පලකරමි.

  7. Buwa says:

    කියල වැඩක් නෑ ජයශ්‍රි මට අපේ දියුණුව මැවිලා පේනවා !

  8. Buwa says:

    නිදහස් ආර්ථිකයක් ක්‍රියාත්මක කරත්දි අවශ්‍ය වෙලාවට ගත යුතු තීරණ ගැනීම සහ පූර්න වශයෙන් සංවෘත ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කියන්නේ දෙකක් , චීනය පවා ආර්ථික ප්‍රතිසංස්කරණයන් නොකලා නම් අද ඉන්න තැන ඉන්නවද ?

    ලංකාවේ උත්සාහයෙන් දියුණු වුනු ව්‍යවසායකයින්ගේ ජීවිත කථා කියවපු සැම අවස්ථාවකම මම දැක්ක දෙයක් තමයි ඔවුනුත් ඉතාම දැඩි ලෙස සිරිමා යුගයේදී පිඩාවට පත්වුනාය කියන එක

    කෘෂි කර්මාන්තය ගත්තොත් මගේ විශ්වාසය රටක් ආහාර නිෂ්පාදනය තුලින් ස්වයං පෝෂිත විය යුතුමයි කියන එක , නිදහස් ආර්තිකයක් ක්‍රියාත්මක වුනත් . නිදහස් ආර්ථිකය නිසි විදිහට යොදාගත යුතුයි , මම භාවිතාවේ වැරැද්ද කියන්නේ ඒකයි ,

    උදා – කුරහන් සාටකය අඳින නායකයො ඉන්න රටට කුරහන් පිරටින් ගේන එක ලැජ්ජාවක් , නමුත් ලංකාවේ වෙලඳ පොලේ විශාලත්වය එක්ක වේගයෙන් අලුත් වෙන තාක්ෂනයන් සහිත තාක්ෂනික උපකරන ස්ව- නිෂ්පාදනයක් විදිහට කිරීමේ අපහසුතාවය නිසා ඒ දේවල් වෙන රටකින් ආනයනය කරන එක විය යුත්තක් , ලංකාවේ හැකියාව සියලු දේ නිෂ්පාදනය කරගැනීම නෙවෙයි (චීනයේ වගේ )

    • Buwa says:

      Reply For Raigama

    • Raigama says:

      බුවා අප දැන් යන්නේ වෙනත් පාරක . ඇට මැස්ස කියන්න හැදුවේ මේ අප කතා කරන මාතෘකාව නොවෙයිනේ. කොහොම උනත් මගේ අන්තිම කොමෙන්ටුව හැටියට මෙය පළ කරනවා. මට කෙටියෙන් කියන්න අවශ්‍ය උනේ සිරිමාගේ රජයේ සංවෘත ආර්ථිකයේ වර්ණනාවක් නොවේ. දේශීය කෘෂි කර්මාන්තය නංවන්න යන්තම් හෝ ක්‍රමවත් වැඩ පිළිවෙලක් තිබුනේ එම රජය යටතේ විතරයි. මයියොක්ක කෑම ගැනම තාමත් අප කියව කියව හිටියට , ඉන් පස්සේ “විවුර්ත ආර්ථික ක්‍රමය ” (අමතක කරන්න එපා එකම ක්‍රමය යටතේ ) අප අවරුදු තිස් පහක් පමණ ඇවිත් ඉන්නවා. අර වගේ පස් ගුණයක්. නමුත් අර අවරුදු හත තමා තාමත් අපේ හරට ඉඳලා තියෙන්නේ . 70—77 කාලයේ අරගත්ත සමහර පියවර කෘෂිකර්මාන්තය නැංවීමට ගත්ත වඩාත් සාදනිය ඒවා හැටියට ඕස්ට්‍රේලියාවේ අද ගත කරන මා තාමත් විශ්වාස කරනවා . පර්යේෂණ ආයතන ටික , ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව වී අලෙවි මණ්ඩලය හා ගබඩා, සතොස මේවයින් ටිකක් . ඔබ නිදහස් වෙළඳාමට චීනය උදාහරණයට ගත්ත එක දයිවයේ සරදමක් වගේ . ජිවිතයේ හැම කට යුත්තකටම ආණ්ඩුව ඇඟිලි ගහන චීනයේ විතරක් නෙමේ , මෙහෙ ඕස්ට්‍රේලියාවේ වත් ඔය කියන නිදහස් වෙළඳපොල නැහැ. විශේෂයෙන් කෘෂි කර්මාන්තයට ආණ්ඩුවේ ආදාර අපමණයි . තමන්ගේ රටේ ප්‍රමුඛතා තමයි හැම රටක්ම බලන්නේ අපේ රටේ සේරම දේවල් වෙළඳපොල නීති මත මිල පාලනය වෙන්න දෙන්න කියන අය හංගන දෙයක් තමා , බටහිර රටවල් පවා එහෙම කරන්නේ නැති බව . සමහර දේවල් වලට පව්ද්ගලික ආයෝජකයෝ සොයා ගන්න නැහැ. ඕස්ට්‍රේලියාවේ මෙතෙක් කෙරුණ විශාලතම යටිතල පහසුකම් ආයෝජනය ($ බිලියන 43) – ජාතික අන්තර්ජාලය- සඳහා මුදල් යොදන්නේ රජය. මොකද කියල ඔබට කියන්න පුලුවන්ද?. නමුත් රටේ ඉදිරි අනාගතය ගැන හිතන රජයවල් ඒවා නිකම් අත හරින්නේ නැහැ . මෙහෙ කෘෂි පර්යේෂණ නෙවෙයි අනෙකුත් බොහෝ පර්යේෂණ සඳහා මුදල් යොදවන්නේ රජය . මේවයින් එක එල්ලේ මුදල් හම්බ වෙන්නේ නැතත් , විශාල ආර්ථික වාසි දිගු කාලීනව අත්වෙනවා . මේ ලියන මොහොතේදී උනත් , ඕස්ට්‍රේලියාවේ මෝටර් රථ කර්මාන්තයේ පර්යේෂණ වලට රජයේ ආධාර මිලියන ගණනින් දෙනවා . එය මෙහි පක්ෂ දෙකේම ප්‍රතිපත්තිය . තමන්ගේ නිෂ්පාදන දියුණු කරලා මුදල් හෙවිම පව්ද්ගලික අංශයේ කාර්යයක් නේ . මොකටද රජය වියදම් කරන්නේ ? කෘෂි කර්මාන්තයත් එහෙමයි .”නිදහස් වෙළඳ පොලේ” මෙහෙ ලඟක් වෙනකම් තිරිඟු වෙළඳාමේ ඒකාධිකාරිය තිබුන සමාගම ලෝක වෙළඳ පොලේ ගානට නෙමෙයි රට ඇතුලේ තිරිඟු වික්කේ, අඩුවට. පනස් ගණන් වල අක්කරයකට ගත්ත අස්වැන්නට වඩා 75 දී වී අස්වැන්න 50% ක් වැඩි උනේ අහම්බුවකින් කියල කියන්න පුළුවන් තමන්ව රවට ගන්න කෙනෙකුට විතරයි.

      මේක උවමනාවටත් වඩා දිග උනා බුවා. 77 න් පසු ආර්ථිකය “නිදහස්” (ඔබ කියන පරිදි සැලැස්මක් ඇතුව) කරලා සේරම දේවල් ආනයනයට ඉඩ දුන්නම අපේ ගොවි තැන ජිවන මාර්ගය කරගෙන හිටපු හුඟක් අයට යන එන මන් නැති උනා. අපේ සීයල දෙන්නත් මේ ගොඩට අයිතියි. රටේ ජාතික නිෂ්පාදනයට කෘෂි කර්මාන්තයේ දායකත්වය එන්න එන්නම අඩුවෙලා තියනවා. ජනගහනයෙන් 80% ක් ඉන්න ග්‍රාමීය ප්‍රදේශ වල තමා රටේ දුප්පතුන්ගෙන් 95% ක් ඉන්නේ. මේවා අහඹු දේවල්ද?

      අර ඔබ කියුවනේ ජේ ආර් ආවේ නැත්නම් අද අප බ්ලොග් නොලියා මය්යොක්ක කකා මුවන්පැලැස්ස බලනවා කියල . අපට එහෙම හරි කරන්න පුළුවන් කම තිබේවි . නමුත් දහස් ගානකට මුවන් පැලැස්ස බලන්නේ වෙලා තියෙන්නේ එලොව ඉඳන් . තවත් දහස් ගානක් ඉන්නවා තමන් සමග මුවන් පැලැස්ස බලන්න තමන්ගේ අම්ම , තාත්තා , අයිය අක්ක , මල්ලි නංගි, නැන්ද, මාමා නැති . ජේ ආර් නාවානම් ඒ අයත් කියාවි අද අප ගාව මගේ තාත්ත ,අම්ම……… ඉන්න තිබුනනේ කියලා . එහෙම කට්ටිය හොයා ගන්න මට ලංකාවට එන්න අවශ්‍ය නැහැ. අපේ වහල යටම පුළුවන්. ඉතින් බුවා ඔබගේ තර්කය එක අතකින් අර විමල් වීරවංසට සිගිරි යන්න බැරි උන එක හා සමානයි . අනික් අතට ශක්තිගේ “ලංකාව අද හොඳම දියුණු රටක් කියන ” එකත් ඔබේ කතාවත් දෙකම එකයි . සිහින සංකල්පනා !!! වෙනස තියෙන්නේ එකකට විතරක් ඔබ හිනා වෙනවා. අප සේරම එහෙමයි. කතාවන් තමන් කැමති කොටසයි ගන්නේ.

      • Buwa says:

        ජේ.ආර් ගේ ආර්ථික ක්‍රමේ මිසක්වා මම ජේ.ආර් ගේ සමස්ථ දේශපාලනය ගැන අදහස් කලේ නෑ

        පලවෙනි දේ ඔබ ඕස්ට්‍රේලියාව සහ ලංකාව දෙකේ ආණ්ඩු එක සමානයි කියල හිතල කථා කරන එක , ආර්ථිකය ක්‍රමය මොකක් වුනත් ලංකාවේ දේශපාලකයින් හා නිලධාරින් කටයුතු කරන්නේ එකම විදිහට . මම නිසි සැලසුමක් ඇතුව ජේ.ආර් හෝ ඊට පස්සේ පාලකයින් නිදහස් ආර්ථිකය භාවිතා කලාය කිවේ නෑ , මම කියන්නේ එහෙම විය යුතුව තිබුනා ය කියලයි . ඔබ ඔය ඕස්ට්‍රේලියාවේ තියනවාය කියල විග්‍රහ කරන තත්වය ඇතිවෙලා තියෙන්නේ නිදහස් ආර්ථිකයක් තුල අවශ්‍ය පරිදි රාජ්‍ය මැදිහත් වීමෙන් නේද . මම කීයන්නේ දැන් ලංකාව අංග සම්පූර්නයි කියල නෙවෙයි , මේ තියන ටිකවත් නෑ සිරිමාගේ ක්‍රමය තවත් කාලයක් ගියා නම් කියල විතරයි

        කෘෂි කර්මාන්තය පැත්තෙන් රාජ්‍ය මැදිහත් වීම සැලකිය යුතු මට්ටම්කින් තියනව රාජපක්ෂ රජයේ , ඒත් ඒක අංග සම්පූර්න නැ . නිෂ්පාදනය දිරිමත් කලාට අස්වනු මිලට ගැනීම සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්තියක් නැ , පර්යේෂන සියල්ලම කෙරෙන්නේ රාජ්‍ය ආයතනවල නමුත් ඒවා එතනින් එහාට ව්‍යාප්ත වෙන්නෙ බොහොම අලස විදිහට . බොහොමයක් වෙලාවට ගොවි මහත්තුරු සීමිත ප්‍රමානයකට විතරයි ඒවා සම්ප්‍රේෂනය වෙන්නේ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s