ජවිපෙ හා පරණ වම ,සභාග දේශපාලනයේ පාඩම් – JVP & the Old Left, Lessons of the Coalition Politics

Posted: September 23, 2011 in Uncategorized
Tags: , , , , , , , ,

1964 මැයි දිනය කොලඹ නගරය රතු පාටින් වැසී ගිය දිනයක් විය. සමසමාජ හා  කොමියුනිස්ට් පක්ෂ එකතු වී වමේ හවුලක් පිහි‍ටුවාගෙන තිබූ අතර ලඟ එන මැතිවරණයේදී වාමාංශික ආණ්ඩුවක් පිලිබඳ සිහින ප්‍රගතිශීලි ජනතාවගේ සිත් තුල මැවෙමින් තිබිණි. එතෙක් ලාංකීය  ඉතිහාසයේ දු‍ටු දැවැන්තම රතු මැයි පෙලපාලිය එම පක්ෂ දෙක විසින් මැයි මාසයේ පැවත්වූ අතර ඉන් මාසයකට පසු වාමාංශික හවුල බිඳ දමමින් ඇන් ඇම් ගේ සමසමාජය සිරිමාගේ ශ්‍රිලනිපය සමග සභාගයකට එක් විය. ඉන් මඳ කලකට පසු කොමියුනිස්ට් පක්ෂද එම මගේම ගමන් ගත්තේය.

එම සභාග දේශපාලනයේ ප්‍රථිපලයක් ලෙස 1970 මහ මැතිවරණයේදී ශ්‍රිලනිපය සමග හවුල්ව තරඟ වැදුනු එම වමේ පක්ෂ දෙක තම මැතිවරණ ඉතිහාසයේ ලබා ගත්  වැඩිම පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව දිනා ගත්තේය. ඒ සමසමාජයට ආසන 19 ක් හා කොපයට ආසන 6ක් ද වශයෙනි.
ඉන්පසු 1970-77 කාලය තුල ශ්‍රිලනිපය සමග එක්ව ඔවුන් කල සියලු දෑට තම දෑතම ඔසවමින් මෙම ඊනියා වාමාංශිකයෝ හවුල් වූහ. 1971 තරුණ ඝාතනය, හාල් පොලු/මිරිස් පොලු, දූෂණ හා නාස්තිය, ඥාති සංග්‍රහ, ආදි මේ සියල්ල සිදු වූයේ වමේ සහයෙනි.
1977 මහ මැතිවරණයේදී ජනතාව මෙම වමේ නායකයන්ට සභාග දේශපාලනය ගැන අමතක නොවන පාඩමක් උගැන්වූ අතර ඔවුන් සියලු දෙනාම පාර්ලිමේන්තුවෙන් හැඳි ගෑවී ගියහ. ලංකාවේ සම්ප්‍රායදායික වමේ අවසානය එය විය. එයින්  පසු කිසිම දිනෙක ඔවුනට තම පරණ කීර්තිය නොලැබුණු අතර ඔවුනට කළ හැකි එකම දෙය වූයේ සාරි පොටක හෝ සාටකයක එල්ලී පාර්ලිමේන්තු ආසන දෙක තුනක් දිනා ගැනීමත් ,ඉන්පසු නාහෙන් අඬා ඇමති කමක් උප ඇමති කමක් ලබා ගැනීමත් පමණි.
 
මේ පරණ වමේ සභාග දේශපාලනයට හා පාවා දීමට එරෙහිව රෝහණ විජේවීර විසින් 1965 දී ජනතා විමුක්ති පෙරමුණ පිහි‍ටුවන ලදි.1971 අරගලයෙන් පසු බන්ධනාගාර ගතව සිටි නායකයන් 1978 දී නිදහස ලබා ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනයට එක් වූ අතර මැතිවරණ වලටත් තරඟ කරමින් සෙසු වමේ පක්ෂ අබිබවමින් ඉදිරියට පැමිණියේය. එහෙත් 1983 දී අභූත චෝදනා නගමින් පක්ෂය තහනම් කල විට ඔවුන් නැවතත් වනගත විය. පක්ෂ නායකයෛන් සියල්ලම පාහේ ඝාතනය වූ  1989 බිහිසුණු  මර්ධනයෙන් පසු නැවතත් 1994 දී  එලියට බැස දේශපාලනය කරන්නට ගත්තේය.
 
1994දී හම්බන්තොටදී දිනා ගත් එක ආසනයකින් පටන් ගත් ඔවුනගේ ගමන  2000 දී ආසන දහයක් හා 2001 දී 16ක් වශයෙන් ශීඝ්‍ර වර්ධනයක් පෙන්වමින් සිටියේය.
 
1964 දී පරණ වමට හැදුනු අසනීපය ජවිපෙට හැදෙන්නේ 2001 දීය. එම වසරේදී පරිවාස ආණ්ඩුවක් ගසමින් චන්ද්‍රිකාගේ රජය රකින මොවුන් 2004 දී ශ්‍රිලනීපය සමග සභාගයකට එක්ව තම මැතිවරණ ඉතිහාසයේ වැඩිම ආසන ගණන එනම් ආසන 39 ක් දිනා ගනී. හරියටම කිව හොත් 1970 දී සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ තම ඉතිහාසයේ වැඩි ආසන ගණනක් දිනා ගත්තා මෙනි.
 
2010 දී සිදු වූ දෙය අප සියලු දෙනා දනිමු. ජවිපෙට තිබූ ආසන 39 ආසන 4 ට අඩු විය. අපගේ ගණන්  බැලීම් අනුව,  ෆොන්සේකා සාධකය නොවන්නට මෙම ආසන ගණන බොහෝ විට දෙකකට සීමා වන්නට ඉඩ තිබිණි. මෙවරද ඔවුන් තරඟ කලේ ෆොන්සේකා හා තවත් කණ්ඩායම් ගණනක් සමග සභාගයක් වශයෙන්  වූ අතර ,එසේවීත් 2000 හා 2001 දී ඔවුන් තනිවම තරඟ කර ලබා ගත් ආසන ගණන දිනා ගන්නට නොහැකි විය. එසේම අති විශාල මර්ධනයකින්  පසු නන්නාඳුන්නන් වශයෙන් එලියට පැමිණ දිනා ගත් හම්බන්තොට අසුන පවා ජවිපෙට අහිමිව තිබිණි.
 
1970 හා 1977 දී පරණ වම අත් දු‍ටු තත්වයන්  පිලිබඳව විග්‍රහ කර එය වළක්වා ගැනීමට හැකියාව තිබියදී ජවිපෙ 2004 හා 2010 දී තමන්ම එම වැ‍රැද්ද නැවත කළේය. කොටින්ම කිවහොත් පරණ වම රෑ වැ‍ටුණු වළේ ජවිපෙ වැ‍ටුණේ මහ දවල්ය.
ජවිපෙ තුල අද ඇති වී තිබෙන  අර්බුදය මෙම සභාග දේශපාලනයට පක්ෂ හා විපක්ෂ කණ්ඩායම් අතර ගැ‍ටුමක් බවත් ජවිපෙ සභාගවාදි දේශපාලනයෙන් මුදා ගැනීම ඔවුනගේ අරමුණ බවත් කියැවේ. සභාග දේශපාලනයෙන්  වමට අත් විය හැකි ඛේදජනක ඉරණම පිලිබඳ හොඳම උදාහරණ  දෙකක්  (ඉන් එකකට  ජවිපෙම සම්බන්ධ  අතර) ලංකාව තුලින්ම තිබියදී සභාග දේශපාලනයට එරෙහිව පක්ෂය තුල මාරන්තික අරගල කිරීමට සිදුවීම නම් හරිම අපූරුය.
 

 
Advertisements
Comments
  1. “1971 තරුණ ඝාතනය,………. මේ සියල්ල සිදු වූයේ වමේ සහයෙනි.” අමතක කරන්න එපා,
    ලංකාව ජනරජයක් වී සුදු අධිරාජ්‍යයෙන් සම්පූර්ණයෙන්ම මිදුනේ ඒ රජය සමයේයි.
    රක්ෂණ සංස්ථාව,ආදී මූල්‍ය ආයතන ද ,ටයර් ලෝහ සංස්ථා ආදී කර්මාන්ත ද, චිතුපට සංස්ථාව ආදී සංස්කෘතික ආයතන ද, පිහිටු‍වූයේ එම රජයයි.
    නොබැඳි සමුලුව පවත්වා කීර්තිය ලබා ගත්තේ ද එම රජයයි.
    අය වැය පරතරය ශුන්‍ය වූයේ ද එසමයෙහිය.
    මේ සියලු යහපත් දේ සඳහා ඔබ කියූ වාමාංශිකයෝ ද සම්මාදම් වූහ.

    • ඇට මැස්සා says:

      මට ඒවා අමතක නැහැ බං.ඒත් ඕවා කියලා පුළුවන්ද? නිකං පව් නොදී ඉඳින් ඕන නැති කොමෙන්ට් නොදා.

      • ඔයාට ඇයි අප්සෙට්ද?

        බය වෙන්න එපා.ඔය කුමාර අයියල කවදාවත් ධනපති පක්ෂ සමඟ සංධානගත නොවී තනියම ඉදියි.හැබැයි දියවන්නවා තියා ප්‍රාදේශීය සභාවක වත් පලාතකට නොගිහින්.ඔයත් කැමති එහෙමනේ!

    • gadfly says:

      ඒ වගේම තමා ජනතාවට මඤොක්කා කවන ගමන් තමන් බාස්මති හාල් කෑවෙත් ඔය කියන වාමාංශික නායකයෝ තමා. අනික ඔය කියන ඊනියා යහපත් දේට සම්මාදම් වුන වාමංශිකයෝ ආණ්ඩුවෙන් එලියට දැම්මේ පස්ස පැත්තට පයින් ගහලා.

  2. tom and jerry says:

    කාලය ගතවීම හා බලාපොරොත්තු කඩවීම කියන සාධක ඔය කියන තත්වයට බොහෝ දුරට බලපානවා කියලයි මට හිතෙන්නෙ. තමන් තනිව තරඟ කලොත් කල්පයක් ගතවුනත් බලයට පත්වෙන්න බැරිය කියලා තේරුනාම සාරි පොටක හෝ සාටකයක එල්ලෙනවා. ජවිපෙ, පැරණි වම, හොල උරුමය, මුස්ලිම් කොන්ග්‍රසය, තොන්ඩගෙ පක්ෂය මේ හැමෝටම සන්ධාන වල පිහිට තමයි. නැත්නම් නාකිවෙල මැරෙනකං බලය නැති අවලංගු දේශපාලකයො විදිහටයි ඉන්න වෙන්නෙ.

  3. ```Outsider``` says:

    සාරි පොටක, සාටකය‍ක හරි එල්ලිලා ගන්න බලයෙන් තමන්ටවත් රටවැසියන්ටවත් ප්‍රයෝජනයක් ඇති දෙයක් කරන්න බැරිවීම තමයි ජේවීපී අයියලාගෙ ලොකුම දුර්වලකම. මොකක් හරි අටමගලයකට මරාගෙන අපි යනව කියල යන්න යනව. අන්තිමට මිනිස්සු තියපු බලාපොරොත්තු සුනේ සුන්. කොහෙවත් යන හොරු ටිකක් ඇවිත් හිස් වෙන තැන් අල්ලගන්නව ඊට පස්සෙ. ගහගත්ත සංධානෙකට ලැබෙන බලයෙන් යමක් රටට, ජනතාවට කරන්න උන්ට වුවමනාවක් නෑ,

  4. වාමාංශික ද දක්ෂිණාංශක ද , සභාග රජයක් ද නැද්ද, ප්‍රගතශිලී ද ප්‍රතිගාමී ද කියන එක නෙවෙයි වැදගත්.මොන ක්‍රමයකින් හරි (සමහර විට පොරොන්දු දීල හරි) ව්‍යවස්ථාදායක සභාවට පත් වෙන (යම් දේශපාලන බලයක් නතු කරගන්නා )අය කරන වැඩ මොනව ද කියන එකයි වැදගත්.තමන්ට ලැබෙන කුඩා අවස්ථාවෙන් හරි උපරිම ප්‍රයෝජනය අරං ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබා දීමයි ක්‍රියාකාරී දේශපාලනයේ නියැලෙන හැමෝගෙම යුතුකම.මම කියනනේ අතීතයේ හිටපු ඇන් ඇම් ලා කොල්වින් ලා වගේ අය ඒ දේ කළා.නමුත් ජවිපෙ ට හදිසියේ වැළදෙනන සභාග භීතිකාව නම් රෝගය නිසා පටන් ගත්ත වැඩේ අවසන් නොකර අතරමගදි සංධාන වලින් ඉවත් වන නිසා සිදුවන්නේ ජනතාවට ලැබිය යුතු ප්‍රතිලාභ නොලැබී ම හෝ අඩු වීමයි.මොකද ජවිපෙ වගේ පක්ෂයකට තනිවම බලයට ඒම සිහිනයක් ම පමණයි.

    tom and jerry සහ Outsider සමඟ එකඟයි!

  5. gadfly says:

    “වාමාංශික ද දක්ෂිණාංශක ද , සභාග රජයක් ද නැද්ද, ප්‍රගතශිලී ද ප්‍රතිගාමී ද කියන එක නෙවෙයි වැදගත්”
    ඒ කියමනෙන්ම තමන් මහා පණ්ඩිතයන් සේ ලොවට පෙන්වීමට හදන ජයශ්‍රි වැන්නවුන්ගේ බුද්ධියේ තරම පෙනේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s