රාලගේ කොටගවුම් භීතිකාව

Posted: January 10, 2011 in Uncategorized
Tags: ,
 
තවද යට ගිය දවස  ආශ්චර්යදීපයේ පුරසි මිහිඳු නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍යය කරන සමයෙහි  රජ වාසල මෙහෙ කරන රාල නම් වූ සැට වියැති  එක් දාසයෙකු  රජ්ජුරුවන්ට නොයෙක් ආකාර දාස කම් කරමින් දිවි සරි කරගන්නාහුය. රජ්ජුරුවන් ගමනක් යන්නාහු නම් රජුට පෙරමුණෙන් ගමන් කරමින් පාවඩ එලීම් ආදිය කරන බැවින්  මූ පෙරමුණේ රාල නම් පතල විය. 
 
මූගේ ශරීර ස්වභාව ඉතා අජූව විය. කාල වර්ණ වුත් තර වුත් මිටි වුත්  ශරීර ඇත්තේය. දත් ඉදිරියට නෙරා අවුදින්ය.නාසයෙන්  ගලන සොටු දියරත් , දෑසින් ගලන කබත්  ඇත්තේය. ගත පුරා සොරි කබල්ය. දෙපා වණයෙන් වැසී ගත්තේය. ශරීරයෙන් හමන දුඟද ඇත්තේය.
 
ඉදින් මූ මෙසේ මහලු වන තෙක් වසර ගණනක් කඹුට උපයාගත් මුදල් මසුරන් දහසක් එක්තරා දිළිඳු බ්‍රාහ්මණයෙකු ගේ ගෙයක ආරක්ෂාවට තබා ගොසින් උහුම නැවත රාත්‍රියේ අවුත් ඒවා සොර කම් කරගෙන ගියේය. ඉක්බිති මූ නැවත දින දෙකකින් අවුත් ” මගේ මසුරන් දෙවයි ” ඉල්වීය.
 
ඒ බ්‍රාහ්මණයා තමාට දෙන්නට රන් නැති හෙයිනුත් තමා දුප්පත් හෙයිනුත් මහත් විස්සෝප ව සිටින කල රාල නම් වූ දාසයා කියන්නේ ” රනට හිලවු වන පිණිස තාගේ දුව  දෙව” යි කීය.  බමුනාද අන් පිළිසරණක් නැත්තේ රැගෙන යවයි කියා කීය.
 
එවිට රාලයාත් ඒ ස්ත්‍රිය  රැගෙන ගොස් තමාගේ ගෙයි රඳවාගෙන උන්නේය. ඒ  බ්‍රාහ්මණ දුව තමා තරුණ ස්ත්‍රිය හෙයින්ද රාලයා අජූව  හෙයින්ද කාමයෙහි ආර්තිව පරපුරුෂයන් සේවනය  හා පරදාර බොහෝකොට කරන්නීය.
 
පරපුරුෂයන් සොයාගනු වස් බොහෝ    ස්ත්‍රී මායම් දාන්නීය. ඉතා කෙටි වස්ත්‍රයෙන් සැරසී වීදී  වල සරන්නිය.  ඉතා කුඩා රෙදි කඩක් හිනට හැඳ යම්තම් පියොයුරු වැසෙන සේ තන පටක් පමණක්ම හැඳ වීදී  සරනා තම භාර්යාව දකින විට රාලගේ සිත ඊරිසියාවෙන්  පෙලෙන්නේය. 
 
එවිට උහු බාරියාව අමතා තිගේ වස්ත්‍ර ඉතා කෙටිය, ඔවැනි වස්ත්‍ර හැඳ වීදි සරන්නට තිට ලජ්ජා නැතිදැයි අසන්නාහුය. තම සැමියා කෙරෙහි මහත් පිළිකුල ඇති  බැමිණි කත රාලයා කියන කිසිත් කනකට නොගන්නී තව තවත් කොට වස්ත්‍රම අඳින්නීය. එවිට රාලයා   සිතෙහි මහත් වූ ශෝක උපදින්නේය.උහු  තැවී තැවී ම හිඳින්නේය.
 
එසේ දුකෙන් පීඩිතව , තැවෙමින් සිටින මූගේ රාජකාරිද අතපසු වන්නේය.පත සිරුරද කෘෂ වන්නේය. මූට වන්නා වූ විපිරියාස දැක නොපෙරේමයා  නම් වූ මුගේ මිතුරු දාසයා කිම්ද කාරණයි විමසුයේය. ඉදින් රාලයාත් තමන්ට බාරියාවගෙන් වන්නා වූ අකටයුත්ත තම ඉතමිතුරු  නොපෙරේමයට හෙළිකරන්නේ සිතේ හට ගත්තාවූ මහත් ශෝකයෙන් වැලපෙන්නට  ගත්තේය. එවිට ශෝකපත් නොපෙරේමයා කියන්නේ  ” නාඬා සිටුව. අප මිතුරු අහවල්  ඇමත්තාට  කියා තොප බාරියාවට කොට වස්ත්‍ර හැඳීම තහනම් කල හැකි වේද” යි කීය.
 
මෙසේ සිතා ප්‍රීතිපත් මිතුරු දේපල ඇමැත්තා හමු වී රාලගේ බාරියාවට කොට වස්ත්‍ර හැඳීම තහනම් කරන මෙන් රජ්ජුරුවන් ලවා ආඥාවක් පනවාලන්ටයි අයැද සිටියේය. එවිට ඇමැත්තා ” තොප බාරියාවට කොට වස්ත්‍ර ඇඳීම තහනම්  කරන නියෝගයක්  පනවාලුවහොත් මේ කිමදැයි  මගේ බාරියාව විමසා මා ගැන මහත් වූ සැක උපදවා ගන්නවා නිසැකය”  යි කීය. එවිට රාලයද නොපෙරෙමායාද  මහත් ශෝකව හඬන්නාහුය. හඬ, හඬා  එසේනම්  තොප හොර ගමන් බිමන්  ගැන තොපගේ බාරියාවට කියන්නෙමු කීහ.
 
එවිට ඇමත්තාද මදක්  වෙලෙවී ගියේ  ” නොබා සිටුව. ආශ්චර්යදීපයේ සියලු කතුනට කොටවස්ත්‍ර තහනම් කරන රාජ නියෝගයක් රාජසභාවේදී නිකුත් කරන්නෙමි. එවිට මටද කිසිදු ප්‍රශ්නයක්  නැත” යි  කීහ. එකල්හි රාලයාද උහු මිතුරු නොපේරමයාද මහත් වූ සන්තොසින් සුරා සලකට ගොසින් රා කාලයක්ම පීහ.
 
Comments
  1. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: කොටගවුම්, භීතිකාව, […]

  2. Anonymous says:

    Max!!

  3. sinhalaya says:

    ha ha ha ha patta atal kathawa..

  4. පාලියා says:

    ඒක මිසක්.
    මං හිතුවේ මේ අපේ පෙරමුණේ රාළ ගැන ලියපු එකක් කියලා.

  5. රාළ says:

    මේ මම ගැනද කියල සැකේට මේ පැත්තේ ආවේ. හිකිස් එතකං මම (රාළ) ගැන නෙමේ නෙව. මේ රාල ගැන නෙව.
    හිකිස්
    එලස් කිරිස්.

  6. Buwa says:

    ඔය ජාතක කතා භාෂාවෙන් ලිව්ව එකටම තැග්ගක් දෙන්න වටිනවා

  7. Maxathal says:

    භශා භාවිතය උපරිමයි.

  8. Maxathal says:

    මෙන්න සුබ අනාගතයෙ තවත් ප්‍රතිපලයක්.
    http://www.lankacnews.com/sinhala/index.php?option=com_content&view=article&id=4266:-unlimited-downlord-&catid=1:latest-news&Itemid=269

  9. නවම් says:

    සූකරයන් කැකුණ ඵල තලනා කල්හි සැවුලන්ට රජමගුල් යැ

  10. kaluwa says:

    Kings get destryed themselves by entertaing bloody ambattayas.

Leave a comment