මහරජ සහ කැරලි කාරයා

Posted: November 16, 2010 in Uncategorized
ඔන්න එකෝමත් එක රටක මහරජ කෙනෙක් හිටියා.  මහ රජ වටේ තව පොඩි රජ ගොල්ලොත් හිටියා. ඉතින් මේ මහ රජයි පොඩි රජාලයි බොහොම ප්‍රීතියෙන් රට පාලනය කර ගෙන ගියා. එයාලා තමන්ට ඕනේ ඕනේ විදියට භාණ්ඩාගාරේ ධනය වියදම් කරලා මාලිගා හදා ගත්තා. යානා වාහන  ගත්තා. දඹදිවෙන්  කසී සළු ගෙන්නා  ගත්තා. හැමදාම උයන් කෙලියේ ගියා. දඩ කෙලියේ ගියා.
 
හැබැයි ඉතින් මහරජ මොනවා කලත් රටේ ජනතාවත් මහරජට හරි ආදරෙයි. එයාලා කියන්නේ එහෙම තමා රජ ගොල්ලෝ ඉන්න ඕනේ කියලා. නැතුව රජ ගොල්ලොත් අපි වගේ වැරහැලි ඇඳගෙන සුනුසාල් බත් කන්ටය කියලා. පුදුම  භක්තියක්. මහ රජයි පොඩි රජාලයි වීථි සංචාරය කරන කොට මහ ජනතාව පාර අයිනේ ඉඳලා සාධුකාර දිදී වඳිනවා. ආන් බලන්ට පින් කරපු ඇත්තෝ කියලා කියනවා.  
 
මහරජ හැමදාම උදේට සී මැදුරු කවුළුවෙන් ඔලුව එලියට දාලා ජනතාවගෙන් අහනවා
” මගේ ජනතාවනි!මම රජකම අත හැර  වනගත වී තපස් රැකීමට යන්නෙමි.  උඹලා මොකද කියන්නේ ? “
 
මෙහෙම ඇහුවාම ජනතාව කම්පා වෙලා අඬා වැටිලා කියනවා ” අනේ මහරජාණනි. නුඹ අපිව දාලා යන්ට එපෝ ” කියලා.
 
එතකොට මහරජාත් ” ආ නුඹලා අකමැති නම් මම යන්නේ නැහැ ” කියලා කියනවා.
 
ඔහොම කාලයක් ගියා . රටේ අග හිඟ කම් එන්ට එන්ටම වැඩි වුනා. දවසක් අග්‍ර පුරෝහිතයා ඇවිල්ල මහ රජට කියනවා
 
” දේවයන් වහන්ස , දැන් නම් රටේ ජනයා හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ . වැඩි දෙනෙක් වේලක් අර වේලක් කාලා තමා ජීවිතේ ගැට ගහ ගන්නේ. ඉක්මනින්ම මුකුත් නොකොළොත් ජනතාව අපිට විරුද්දව කැරලි ගහයි ” කියලා.
 
එතකොට මහරජ කියනවා “ආ උන් මට ආදරෙයි කන්ඩ නැතිව මැරුණත් මට විරුද්ද වෙන්නේ නැහැ . කෝකටත් අපි මේ ගැන අපේ ඇමති මණ්ඩලයට කියලා බලමු “
 
ඔන්න ඇමති මණ්ඩලේ රැස් වෙලා මේ ගැන කතා බහ කරලා තීරණය කරා අණ බෙරයක් රට පුරා යවන්ට. මේ යෝජනාව ගෙනාවේ රජවාසල කවටයා.
 මේ විකටයා කියපි මෙහෙම .
” මගේ හොඳ යාලුවෙක් ඉන්නවා හොඳ ප්‍රසිද්ද වෙද රාල කෙනෙක්, අපි එයාට කියලා රටේ ජනතාවට කියමු තුන් වෙලාම කන එක සරීරෙට හොඳ නැතිය .  එක වේලක් කන එකෙන් ආයුෂ වැඩි වෙනවාය කියලා”
 
එතකොට වැව් අමුණු බාරව ඉන්න බඩ පත ඇමතියා කියපි එකනම් හොඳ අදහස කවටයෝ. ඕකත් කරන අතරේ  උඹත් ගිහින් මිනිස්සුන්ව හිනස්සපිය., ඕකුන්ට බඩ ගින්න අමතක වෙන්න කියලා.
 
ඔන්න දැන් බඩ පිරෙන්න කෑම අගුණයි කියා කියා  අණ බෙරයක් යන අතරේ කවටයාත් රට පුරා යනවා විහිලු කර කර. මිනිහා හරි නළුවා. ඔන්න ගමකට ගිහින් කියනවා
” අපේ රට අල්ල ගන්න සොලීන් එනවා , උන් එලවනකම් මම කෑම බිඳක් කටේ තියන්නේ නැහැ”
 
එහෙම කියලා අට්ටාලෙක වැතිරෙනවා. හෝරාවක් විතර යනකොට කෙඳිරි ගාන්ට ගන්නවා  මාස ගානක් නොකා හිටියවගේ. වටේ ඉන්න මිනිස්සු බඩ අල්ල ගෙන හිනා වෙනවා. එතකොට මහරජ වගේ ඇඳ ගත්ත රාජපුරුෂයෙක් ඇවිත් වතුර  කෝප්පයක් දීලා කියනවා ” කොලුවා මෙය බී නැගී සිටුව ”  කියලා. මිනිස්සු බිම පෙරලී පෙරලී හිනා වෙනවා.
 
ඔන්න ඔය අතරේ තමා මහරජ රජකමට පත් වෙලා  පස්වර්ෂ පූරනේ ආවේ. මේක බොහොම සරුවට උත්සවයක් අරගෙන සමරන්ට ඕනේ කියලා මහ රජ කල්පනා කළා. එහෙම හිතලා ඇමති මණ්ඩලේට නියෝග  කළා මුළු රටම උත්සව ශ්‍රීයෙන් බබලවන්ට.
 
ඇමතියෝත්  රාජ භාණ්ඩාගාරෙන් හිතු මනාපේ  කහවණු අරගෙන  වියදම් කරනවා උත්සවේට. ඒ අතරේ කොටසක් තමන්ගේ පාවිච්චියට හංගා ගන්නවා.
 
මේ අලකලංචිය ආරංචි වුනා අල්ලපු රටටත් . ඒ රටේ රජ්ජුරුවෝ මහරජත් එක්ක අමනාපෙන් හිටියේ ඉස්සර කාලේ කරපු මදි පුංචි කමක්   හින්දා  . උන්දෑ  තමන්ගේ හොඳම ඔත්තු කාරයෝ දෙන්නෙක් ලඟට අඬ ගහලා  කනට කරලා රහසක් කියලා යැව්වා.
 
ඔන්න ටික දවසකට පස්සේ අපේ මහරජ මුණ ගැහෙන්ට ඇවිල්ල ඉන්නවා අල්ලපු රටෙන් ආපු සන්නාලියෝ දෙන්නෙක්. උන් දෙන්න ඒ රටේ හොඳම සන්නාලියෝ දෙන්න. උන් කියපි රාජ මංගල්ලෙට අඳින්න අපූරු වස්ත්‍රයක් මහන්න උන්ට පුළුවන් කියලා.
 
ඒ වස්තරේ මේතාක් කිසිම රජ කෙනෙක් ඇඳලා නැති ජාතියේ ඉස්තරම් ඇඳුමක්ලු. මේකේ අපූරුව කියන්නේ මේ ඇඳුම මෝඩයන්ට පෙන්නේ නැහැ. මොලේ වැඩි වෙන්ඩ වෙන්ඩ තමා ඇඳුම පේන්නේ. හොඳටම මොලේ තියෙන අයට තමා මුළු ඇඳුම  පේන්නෙ. හැබැයි වටිනා කම කහවණු කෝටියයි.
 
මහරජත් කියපි කාසි කීයක් ගියත් කමක් නැහැ මටත් ඕනේ ඒ වගේ ඇඳුමක් තමා මහපියව් කියලා. ඒ විතරක් නෙවේ මට මහන ඇඳුමට ටිකක් අඩු වටිනා කම් වෙන්ට ඒ ජාතියේම ඇඳුම් මහපියවූ මගේ පොඩි රජාලටයි ඇමතියන්ටයි කියලත් කියපි.
 
සන්නාලියෝ දෙන්නත් රජ  මාලිගේ  කාමරයක්      ඇතුලට වැදිලා ඇඳුම් මහනවා. මහරජත් ඉඳල හිටලා  කාමරේ ලඟට ගිහින් දොරට කන තියන් ඉඳලා එනවා. මොකද සන්නාලියෝ කිවා වැඩේ අහවර වෙනකම් කාටවත් පෙන්නන්නේ නැහැ කියලා.
 කොහොමින් කොහොමින් හරි සුභ දවසත් ආවා. සන්නාලියෝ ඇවිල්ල මහරජට ඇන්දුවා. මහරජත් ටිකක් අවුල් මූණ දාගෙන හිටියත් වචනයක් කිව්වේ නැහැ. හිමිහිට පොඩ්ඩක් අත ගාලා බැලුවා ඇඳුම . ඒක දැක්ක සන්නාලියෙක් අහපි  ඇයි රජතුමනි කියලා.
 
” නෑ මොකුත් නෑ”
 
දැන් මහරජයි, බිසවුන්නාන්සේලායි   , පොඩි රජාලයි, ඇමතිලායි, කට්ටියම මේ මහාර්ඝ ඇඳුම ඇඳ ගෙන කුඩ කොඩි සේසත් පිරි වරාගෙන වීථි සංචාරය පටන් ගත්තා.
මහ ජනයා කට ඇර ගෙන මෝහනයට පත් වෙලා මේ දිහා බලා ගෙන ඉන්නවා. එකෙක් හ්ම්ම් කියන්නේ නැහැ. හැමෝම හිතන්නේ තමන්ට නොපෙනුනාට අනික් අයට මේ ඇඳුම් පේනවා කියලා. තමන්ට පේන්නෙ මායාවක් කියලා තමා එයාලා හිතුවේ.
 
සෙනග පාර දෙපැත්තේ හිටගෙන සාධු කියනවා , ගායකයෝ ස්තෝත්‍ර ගයනවා , බලන්ට වටිනා අවස්ථාවක්. රැඟුම් ගැයුම් වැයුම් කෝටියයි.
 
ඔන්න ඔය වෙලාවේ තමා සෙනග අතරේ හිටපු නොසන්ඩාල කොල්ලෙක් කෑ ගැහුවේ.
 
” මහ රජා හෙළුවෙන් යනෝ “
 
සටහන. – ඔයාලා හිතන්නේ ඒක ඇහිලා මහරජාටයි ගෝලයින්ටයි  ලැජ්ජ හිතිලා අත් දෙකෙන් හෙළුව වහ ගෙන මාලිගාවට දිව්වා කියලද? එහෙම වුනේ නැහැ. මහරජ දිගටම  වීථි සංචාරය කරා . රාජපුරුෂයෝ කඩා  පැනලා අර කොලුවාටයි එතන වටේ හිටිය අනික් මිනිස්සුන්ටයි හොඳටම නෙලලා , කොලුවා කුද ලා ගෙන ගියා.  ගිහින් මහරජට අපහාස කරා කියලා කොලුවා හිරේ දැම්මා. ඌ තාමත් හිරේ.
 
 
Advertisements
Comments
  1. Anonymous says:

    Maxaaa

  2. Bill Gates says:

    ela machooooooo!!!

  3. Buwa says:

    ela post eka machooo

  4. Charmi says:

    මතක් උනේ ‘මී පුර වැසියෝ’ නාට්‍යය.
    ඒකෙත් ඇත්ත කියන එකාට වෙන්නෙ ඔය සංගෙදියමයි.
    හැබැයි ඉතිං ඒ නාට්‍යය හදපු එකත් ඔය පෙරහැරේම හෙළුවෙන් යන එක තමා වැඩේ.

  5. පද්දා says:

    රජා නිකම් බව කෑ ගැසූ කොලුවා සිටියේ ද අමු නිරුවතින් බව කරුණාවෙන් සලකන්න

    • කඩප්පුලියා says:

      පද්දා විවිධ තැන්වල එකම විදියට කඩේ යයි.

  6. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: කාරයා, කැරලි, මහරජ, […]

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s