සූටි අයියාගේ බූරු පොළ – Gamblers’ Paradise

Posted: November 9, 2010 in Uncategorized
Tags: , , , ,
 
නව සූදු විධි විධාන පනතට රටේ හුඟ දෙනෙක්  විරුද්ධය.  හෙළ උරුමයත්, විකටවංශයත්, ජේවීපියත් , යූඇන්පියත්  , තව බොහෝ දෙනෙක් මේකට විරුද්දය.  හැබැයි මම නම් ඒකට කැමතිය. හුඟ දෙනෙක් නොකරන දේ කරන විට කියන්නේ උඩු ගං බලා පීනනවා කියලාය. මං ඒ වැඩේට  කැමතිය.
 
 හැබැයි ඉතින් මේකට හුඟ දෙනෙක් විරුද්දයි කිව්වාට එහෙමත් නැතිය. මොකද කියනවා නම් ඔය ඉහත කියපු ඔක්කොම එකට තියලා ගත්තත් සීයට හතළිහක් චන්දෙ ගන්ඩ බැරි වුනේ වැඩි ඈතකදි නොවෙන  නිසාය.  ඇත්තටම කිව්වොත් හුඟ දෙනෙක් හිටියේ එයාලට විරුද්ද පැත්තේය. ඒක නිසා හරියට ගත්තොත් ඔය සූදු පනතට රටේ ජනතාගෙන් බහුතරයක් කැමතිය. ජනතාව එතුමාට ඕනේ සූදුවක්  කෙලගන්ඩ  ජනවරමක් දීල තියෙනවාය. ඒ මදිවාට     එතුමාගේ ආණ්ඩුවෙන් කරනවානම්  සූදුව උනත්  බුදු දහමට ගැලපෙනවාය කියන්න ලෑස්ති උන්නාන්සේලා ඕනේ තරම් ඉන්නවාය. කරන්න ඕනේ සූදුව උනත්  පිළිවෙලට කරන එකය.
 
හැබැයි මම සූදුවට කැමති ඔය හුඟ දෙනෙක් කැමති නිසා නෙවේය. ඉස්සෙල්ලත් කිව්වා වගේ මම කැමති උඩුගං බලා පීනන්ඩ ය . හැබැයි ඉතින් ඕනේ නම් පල්ලෙහට පීනන්ඩ උනත් ලෑස්තිය. මේ වැඩේදී මම තෝරා ගත්තේ පල්ලෙහාට පීනන්ඩ ය.මම  මෙහෙම   කරන්නේ මේ වැඩෙන් රටට යහපතක්  වෙනවා කියලා මගේ අත් දැකීමෙන් දන්නා නිසාය.
 
ඒ අත් දැකීම මෙහෙමයි. . අපි පොඩි කාලේ අපේ ගෙවල් ළඟ සූටි අයියා කියලා මනුස්සයෙක් හිටියා. හරි මදාවියා. රස්සාවක් නැහැ . ඔය එක එක සිල්ලර වැඩ කරලා තමා ජීවත් වුනේ. මිනිහාට තිවුනා, ගරා වැටුන , වහලා දාල තිබුණු,  කඩ කාමරයක් . මිනිහා යාළුවො  එක්ක  එකතු වෙලා හැන්දෑවට කසිප්පු බීවේ ඔය කඩ කාමරේ.  කට්ටිය බීල කාර්ඩ් සෙල්ලම් කරනවා ඕක ඇතුලේ. ටික කාලයක් යද්දී කට්ටිය සල්ලි වලට සෙල්ලම් කරන්න ගත්තා. ඔහොම වැඩි කාලයක් යන්න කලින් සූටි අයියාගේ පොට් එක ෆේමස් බූරු පොලක් වුනා .
 
අපේ ගමේ විතරක් නෙවේ අල්ලපු ගම් වල කට්ටියත් මෙතෙන්ට එන්ට පටන් ගත්තා. සූටි අයියාගේ අත මිට සරු වුනේ තෝන් සල්ලි වලින් විතරක් නෙවේ. කට්ටියට බොන්න දෙන්න කසිප්පු පෙරන වැඩෙත් එයා පටන් ගත්තා.
 
ඒ  බොන   එවුන්ට වඩේ , කඩල විකුනලා තව  කීප දෙනෙක්ම හවසට ගානක් හොයා ගත්තා.ඔය අහල  පහල  හිටිය ස්තිරියාවෝ   කීප   දෙනෙකුත්   ස්වයං රැකියා  පටන් ගත්තා.  ඇත්තටම කී දෙනෙක් ගොඩ ගියාද සූටි අයියාගේ බූරු පොලෙන් .
 
දවසක්  උදේ පාන්දර මට ඇහෙනවා සූටි අයියාගේ කඩේ පැත්තෙන් මහා සද්දයක් . සරාස් සරාස් ගාලා මොනවද වැටෙනවා වගේ. මම අපේ  මාමාගෙන්  ඇහුවා මොනවද ඒ වැටෙන්නේ කියලා. එයා  කියනවා ” ඔය තෝන් සල්ලි වැටෙන සද්දේ කොලුවෝ” කියලා.
 
මමත් දුවලා ගියා බලන්න සද්දේ මොකක්ද කියලා.අම්මට සිරි. මෙන්න ලොරි ට්‍රැක්ටර් තුන හතරක් ඇවිත් ගල්, වැලි, ගඩොල් බානවා සූටි අයියාගේ ඉඩමේ. මිනිහා හැදුවා සාප්පු සංකීර්නයක්ම . අන්න දියුණු වෙන මිනිස්සු.
 
මම හිතන්නේ අපේ තුමා  ආදර්ශෙට ගන්න යන්නේ සූටි අයියා. දැන් බලන්න, කැසිනෝ පටන් ගත්තාම සුද්දෝ එනවා මෙහාට සල්ලි අරගෙන සෙල්ලම් කරන්න. කැසිනෝ එකකට එක වතාවක් හරි ගිහින් තියෙන තොත්ත  බබෙක් වුනත් දන්නා කාරනාවක් තමා ඕකට ගිහින් දිනන්න නම් බැහැ කියලා. දැන් ඔය සුද්දෝ ගේන සල්ලි ඔක්කොම පරදිනවා.
 
ඔය එන එවුන්ට බොන්න දීල තව ගානක් කපාගන්න පුළුවන්. අපි කියමු මතට තිත අපේ වුනාට විතරයි කියලා. සුද්දොන් ට   ඒක   අදාළ    නැහැ   කියමු.  ඔය  ගංජා වගේ දේවල් වුනත් ඉතින් සුද්දොන්ට  වික්කාට   මක්  වෙනවද   ?
 
අනික  ගංජා පොවන එක අපේ දේශීය  සංස්කෘතියටත් ගැලපෙනවනෙ . මත්  කුඩු වලට  විරුද්ද යුද්දෙත් කරන ගමන්ම ගංජා සුරුට්ටුවක් උරන්න පුළුවන්. මොකද ගංජා කියන්නේ කුඩු නෙවෙනේ . කෑලිනෙ. එතකොට  ගංජා  වවලා  තව  සෑහෙන  පිරිසකට  ආදායම් හොයන්න පුළුවන්. ඕනේ නම් පිට රට යවන්න ත් පුළුවන්.
 
සුද්දොන් ට  ඕනේ නම් තව සැප දෙන්න පුළුවන්. ඒකටත් වෙනම පාරක් හදමු. රතු වීදියක්. රතු කලාපයක්. 45000 ක් ම ඉන්නවනේ.  කොහොමටත් ඉස්සරහට ගාර්මන්ට් කර්මාන්තෙත් එච්චර  ෂුවර් නැහැනේ. මේ කර්මාන්තෙට ඕනේ තරම් කට්ටිය හොයා ගන්න ක්‍රමයකුත් තියෙනවානේ.  ඇහැට කනට පෙන්න ඉන්න කෙල්ලොන්ගේ ෆොටෝ හොයා ගෙන  උන්ට කියන්න පුළුවන් මේවා පත්තරේ දානවා , පෝර්න් ස්ටාර් කියලා. එහෙම  කරන්න   එපා නම් අපි කියන විදියට මේ කැසිනෝ වල වැඩ කරපල්ලා කියලා කියමු. ඒ පැත්තෙනුත්   සෑහෙන ආදායමක් එයි.
 
මේ විදියට අපේ රටට විදේශ විනිමය  ගලා ගෙන එයි. ඒ සල්ලි කාටද. අපේ රටට නේ.
 
ඒවා අපි යොදවනවා  ගුවන් පාලම් හදන්න. වරාය හදන්න. අධි වේගී මාර්ග හදන්න. ආසියාවේ ලොකුම චෛත්‍ය  හදන්න . බුදු පිළිම හදන්න. පන්සල් හදන්න.
 
අන්න එහෙමයි රටවල් දියුණු  කරන්න ඕනේ.  
 
 ප.ලි.- මට තියෙන එකම ප්‍රශ්නේ තමා ලංකාවේ මේ වැඩේ පටන් ගත්තාම තමන්ගේ බඩට වදින බව දැන ගෙන ලාස් වේගාස් වල නගරාධිපති තුමා ලෙඩක් අදියි ද  කියලා
Comments
  1. Thisara says:

    රතුඑළියෙ අතන හා එදාවේල දේවානන්ද “සදහම් අසපුව” ට යන පාරේ වැඩම කරමින් සිටියි. හුරැපුරැදු දෙබසකි.

    අතන, සර්පයා දුටුවාද?

    දුටුවා ස්වාමීනි, ඒ “දේශප්‍රේමී සර්පයෙකි”

  2. හිකිස්…එල ….

  3. අපි says:

    මේ ලිපියෙනුත් ඉහත දැක්වෙන ප්‍රතිචාර වලිනුත් මට පෙනී යන්නේ රාජපක්ෂ විරෝධීන් තව තවත් බංකොලොත් වී ඇති බව මිස අනෙකක් නොවේ……

  4. gadfly says:

    අපි බංකොලොත් වුනේ බූරු ගහල මයි ආයිබෝන්. එකෙන් ම ගොඩ එන්ඩත් එපයි. ඒකයි මම මේ වැඩේට කැමති.

  5. බූරු සිරා says:

    ධම්මික පෙරේරා මේ ගැන මොනවා කියනවා ඇත්ද? මේකට පක්ෂව අත් උස්සපු හැම ඇමතියම මන්තිරියම ඊලග පාර චන්ද කරනවනම් බොරු !

  6. sinhalamag says:

    රජයට අදායමක් ගන්න මොන මගුලක් හරි කොරල තමයි පස්ස බලන්නේ, යකෝ ගැනිවත් තියල සුදු ගහයිද මන්ද.

  7. මජ්ජපමා දට්ඨානා අනුකූලෙන්ති
    කැසිනෝවා ගජවරං දානං
    සප්ත පරිහානීය කාරණා
    රාජපක්ස භවතු ධම්මිකෝ
    -හිතුවක්කාරයා

  8. lankahelp says:

    අනගි ලිපියක්, ඔලුව අත ගාල ටොක්කක් ඇන්නා වගේ..එත් පහලින් තියෙන ඔබේ සටහනෙන් අපේ රටේ රෙදි මහන කර්මාන්ත ශාලාවල වැඩ කරන යට කවුරුත් පොදුවේ කරන අපහාසය කරන්න ඔබ අදහස් කරනවද යන්න සැකයි.

    “සුද්දොන් ට ඕනේ නම් තව සැප දෙන්න පුළුවන්. ඒකටත් වෙනම පාරක් හදමු. රතු වීදියක්. රතු කලාපයක්. 45000 ක් ම ඉන්නවනේ. කොහොමටත් ඉස්සරහට ගාර්මන්ට් කර්මාන්තෙත් එච්චර ෂුවර් නැහැනේ. “

    • gadfly says:

      රෙදි මහන කර්මාන්තයේ සිටින කතුන්ට අපහාස කිරීමට මට උවමනාවක් නැතිවා පමනක් නොව ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන්නෙක්ද වෙමි. මා කීමට උත්සාහ කලේ රට කරවන වුන්ගේ උද්ධච්ච කම නිසා ඒ කර්මාන්තයද බිඳ වැටී එම කතුන්ද මහ මගට වැටීමට ඉඩ ඇති බව හා පසු ගිය දා ගෙන ගිය පෝර්න් ස්ටාර් සංකල්පය මෙරට වෙසෙන ඕනෙම කතකට එරෙහිව භාවිතා කල හැකි බවයි.

  9. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: Gamblers’, paradise, අයියාගේ, පොළ, බූරු, […]

Leave a reply to sinhalamag Cancel reply