මානුෂික මෙහෙයුම -2 නොහොත් සරසවි ගිනිතැබීම – Universities in Flames

Posted: October 28, 2010 in Uncategorized
Tags: , , , , , , , ,
 
 
සරසවි නැවත  වතාවක් ගිනියම් වී දැවෙමින් පවතී. සෙසු සමාජයම සීතලෙන් ගල් වී දිගු සිසිර නින්දකට සැරසෙද්දී , සරසවි පද්ධතිය පමණක් මෙසේ ගිනි ගෙන දැවෙමින් පවතී.
 
පාලකයින් මර්ධනකාරී අනපනත් ගෙන එමින්, රටේ නීතිය පවා තමන්ට අවැසි පරිදි සකසා ගනිමින් සිටින මේ මොහොතේ මෙතෙක් කල් සමාජය ඉදිරියේ විප්ලවාදින්, හා වාමාංශික රැඩිකලුන්  ලෙස පෙනී සිටිය උන් පවා තමන්ගේ උදර පෝෂණය වෙනුවෙන් පාලකයින් ඉදිරියේ දනින් වැටී උන්ගේ  පා ලෙව කමින් සිටිති.  පීඩනයට හා මර්ධනයට ලක් වූවන් පවා මේ වෙලාවේ තෝරාගනිමින් සිටින්නේ තමනට එල්ල වන පීඩනයට එරෙහිව සටන් වැදීම නොව පාලකයින් හා හවුල් ව ජාම බේරා ගැනීමය. හැකිනම් උන් හා එක් ව උන් භුක්ති විඳින දෙයින් කොටසක්වත් කඩා ගැනීමටය. අද දින ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තත්වය එයයි.
 
මේ සාමාන්‍ය තත්වයෙන් බැහැරව තම අයිතීන් වෙනුවෙන් සටන් වැදීමට තීරණය කර සිටින්නේ සරසවි සිසුන් පමණි. අන් සියල්ලන් දනින් වැටී පා ලෙව කෑම තෝරා ගනිද්දී ඔව්හු අරගලය තෝරාගෙන සිටිති.
 සිසුන් පිටුපස සිටින බලවේග ගැනත් ,තවත් නොයෙක් දේ ගැනත් කියමින් ඔවුන්ව විවේචනය කල හැක. එහෙත් වඩා වැදගත් වනුයේ මේ මොහොතේ ඔවුන් සටන් වැද සිටීමයි .
 
ඔවුන් අද සටන් වදින්නේ ආත්මාරක්ෂාව සඳහා වුවද , එම සටන  ඉදිරියේදී පොදු සමාජ ප්‍රශ්න හා බද්ධ කල හැකි බව හා එසේ වනු ඇති බව වෙන කාටත් වඩා හොඳින් රජය දනියි. සිසුන්ගේ මෙම සටන කෙරෙහි මඩ පහරවල්  එල්ල කර අපකීර්තියට ලක් කර සමාජයෙන් කොන් කර හුදකලා කිරීමට රජය තම මුළු ශක්තිය යොදවන්නේ ඒ නිසාය.
 
රාජ්‍ය මාධ්‍ය වලට අමතරව දිවයින, ලංකාදීප  වැනි පත්තර කඩමාළුත්, මළමිනී ස්වර්ණවාහිනිය හා වරුණිගේ පච දෙරණ ත් නිර්ලජ්ජිතව සිසුන්ට පහර දෙන්නේ ඒ වෙනුවෙනි. මේ පිළිකුල් සහගත මාධ්‍ය මෙහෙයුම් තුලින් සරසවි සිසුවා යනු දුටු තැන මරා දැමිය යුතු තිරිසනෙකු බවට මත පල කරමින් සිටිති. ඔවුනගේ හිස් කුඩු පට්ටම් කර මරා දැමිය යුතුයි මේ මාධ්‍ය ඔස්තාර්ලා අපට නොකියා කියති. ඔවුනට අනුව සරසවි සිසුන් යනු මෙතෙක් ලංකාව තුල පහල වූ අන්ත අධම පාහර     සතුන් විශේෂයකි. ඔවුන් සහමුලින් විනාශ කර දැමිය යුතුය.
 
ඊයේ (27 දා)   කැලණිය සරසවිය අසලදී , තමන් සරසවි සිසුන්ගේ මවුන් යයි කියා ගත්,දේශපාලකයෙක් විසින් මත්පැන් පොවා ගෙනා මොලේ නැති ගණිකාවන් පිරිසක් විසින් සිසුවෙකුට කල පහර දීම මේ මාධ්‍ය ප්‍රචාරය සඳහාම කල දෙයකි. ඔවුනට අවශ්‍ය එයයි. එනම් පොදු ජනතාව විසින් සිසුනට පහර දීමයි. ඊයේ කලේ ඒ වෙනුවෙන් පෙරහුරුවකි. පෙළඹවීමකි.
 
රජය සරසවි සිසුනට මෙතරම් පහර දෙනුයේ මන්ද?  මානසික රෝගීන්ට උසස් අධ්‍යාපනය බාර දෙන්නේ මන්ද? 
 
හුදෙක්ම සරසවි සිසුන්ගේ අරගලකාරිත්වයට බිය වීද? එයද එක් හේතුවක් විය හැක. එහෙත් තවත් හේතුන් ගණනාවක්ම ඇත.
 
දිනෙන් දින උග්‍ර වෙන ආර්ථික අර්බුධය හමුවේ තව දුරටත් සරසවි අධ්‍යාපනය වෙනුවෙන් මුදල් වැය කිරීම අසීරු වෙමින් පවතී. එහෙත් එක් වරම ඒවා කප්පාදු කිරීමද කල නොහැක්කේ ජනතා විරෝධයක් නැග ආ හැකි බැවිනි. ඒ නිසා රාජ්‍ය සරසවි යනු කිසිම කමකට නැති තැනක් ලෙසත්, ඒ සඳහා මුදල් වැය කිරීම අපරාධයක් ලෙසටත් මහජනයා තුලට කාවැද්දීම පළමුවෙන් කල යුතුය. එවිට රාජ්‍ය සරසවි වසා දමා ඒවායේ සම්පත්ද සූරාගෙන පෞද්ගලික සරසවි ඇති කර අන්තරයේ බාධා කිරීම් වලින් තොරව පවත්වා ගෙන යා හැක.
 
රජය සිසුන් හා ගැටෙන අනිත් කරුණ වන්නේ, මෙරට රජයන් විසින් තම නොහැකියාව හා දූෂණ වසා ගන්නට , පසු ගිය වසර තිහ මුළුල්ලේම ජප කල කොටි මන්තරය තව දුරටත් වලංගු නොවීමයි. 2009 මැයි මාසයේදී ප්‍රභාකරන් මරා දමමින් කර ගත් බරපතල වැරැද්ද නිසා , ජනතාව  ඇන්දවීම සඳහා සතුරෙක් සොයා ගත යුතුව ඇත.
 
මාස කිහිපයකට ප්‍රථම විකටවංශ ඇමති වරයා විසින්  බෑන් කී මූන් ට එරෙහිව කල සටනද ඒ සඳහා වූ ප්‍රයත්නයකි. එහෙත් ප්‍රතිභා හීන   පුද්ගලයෙක් වන විකටවංශ විසින් නිර්මාණය කල සතුරා හා ඔහුට එරෙහි සටනෙහි කිසිම  ජීවයක් නොතිබිණි. සිදු වුයේ ලෙමන්  පෆ් කමින් උපවාස කරන්නට ගොස් ලෝකයා ඉදිරියේ විහිලුවට ලක් වීම පමණි. අනික ඒ සටන දිනුවා කියා ලැබෙන දෙයක්ද නැත. ( කොහොමටත් දිනන්නටද නොහැක.)
 
එහෙත් සරසවි සිසුනට එරෙහි සටන එසේ නොවේ. එය ජීවමානය. ලයිව්@ 8 තුලින් පෙන්වා සිසුන් පතුරු ගැසීම සඳහා ආතල් කෑලි දිනපතා මවා ගත හැක. ( හරියටම උතුරේ යුද්ධය වාර්තා කළා මෙනි) . අනික අන්තරය විනාශ කිරීම තම පරපුරේ උන්ගේ සුභ අනාගතයක් වෙනුවෙන් ඉතාමත් වැදගත්ය.
මේ අන්තරයේ උන් ශක්තිමත් ව සිටියහොත් , අනාගතයේ තමන්ගේ පවුලේ සුභ සාධනයට එතරම් සුභ නොවනු ඇත. ඔවුන් ඒවාට එරෙහි වනු ඇත. සටන් වදිනු ඇත. හූ කියනු ඇත. ඒවාට ඉඩ දිය නොහැක. ඒ නිසා මේ සර්පයින් හිස් පොඩි කර තලා දැමිය යුතුය. නමුත් එක් වරම එය කල නොහැක. සමාජය එසේ කරන මෙන් ඉල්ලා සිටිය යුතුය. බල කල යුතුය. සමාජය එතනට ගෙන ඒම මාධ්‍ය වල වගකීමයි. සුගාරලා , කසුරිලා , සුනිල් මාධවලා සිටින්නේ ඒකටය.
 
එලෙස තම ආධිපත්‍යට එරෙහි වන අවසන් බලකොටුවද සුන් කිරීමෙන් අනතුරුව තැනට රිසි සේ සමාජය භුක්ති විඳිය හැක. මුළු රටම තමන්ගේ කර ගත හැක. තමන්ගේ පන්තියේ උන්ට පෞද්ගලික සරසවි අරඹා ගොවි කම්කරු දරුවන් කැලෑවට එලවා දැමිය හැක. පදිකා වේදිකාවේ ඉන්න වෙළෙඳුන් ද මුඩුක්කු වල සිටින   දිලිඳුන්ද      පලවා හැර නගර ලස්සන කල හැක. ගොවියන් ගොවි බිම් වලින්ද , ධීවරයින් වෙරලින්ද එලවා , ඒවා තමන්ටම නතු කර ගත හැක. කිසිම විරෝධයක් නැතිවම නතු කර ගත හැක. රිසි සේ භුක්ති  විඳිය හැක.
 
කොටින්ට  එරෙහිව ඇරඹු මානුෂික මෙහෙයුම කොටින් හා කොටින්ට විරුද්ධව සටන් කල ජෙනරාල්ලාද ගිල ගනිමින් දැන් සරසවි සිසුන් කරා පැමිණ ඇත. පොදු සමාජය තවමත් අත්පොලොසන් දෙමින් ඒ දෙස බලාගෙන සිටිති. ඒ අද සරසවි සිසුන්ගේ හිසට ඉහලින් කැරකෙන ඒ මාරක මුගුර තම හිසට එල්ල වන තෙක්ය. අපි බලා සිටිමු. ඒ අතර අලුත් සතුරා විනාශ වූ විට මහා පාරේ කිරිබත්ද පිස කමු.
 
 
 
Advertisements
Comments
  1. Charmi says:

    “කොටින්ට එරෙහිව ඇරඹු මානුෂික මෙහෙයුම කොටින් හා කොටින්ට විරුද්ධව සටන් කල ජෙනරාල්ලාද ගිල ගනිමින් දැන් සරසවි සිසුන් කරා පැමිණ ඇත. පොදු සමාජය තවමත් අත්පොලොසන් දෙමින් ඒ දෙස බලාගෙන සිටිති. ඒ අද සරසවි සිසුන්ගේ හිසට ඉහලින් කැරකෙන ඒ මාරක මුගුර තම හිසට එල්ල වන තෙක්ය. අපි බලා සිටිමු.”

    Well said Gadfly’

  2. කාලකන්නි……රටම කාලා ඉගෙන ගන්න කොල්ලෝ කන්න යනවා…කැම්පස් වල ඉන්නෙ ඔය ගොබ්බ දේශපාලකයෝ වගේ 8 පාස් උන් නෙමේ..උන්ගේ මොල වලට නේ සක්කිලි හැත්ත අපහාස කරන්නෙ….

  3. සමාව මුලින්ම අයදිමි. මමත් ඉගෙනුම ලැබුයේ රජයේ වි.වි. ඒ දවස් වල මම අන්තරය සහ ජවිපෙ ක්‍රියා කාරීන් සමග ඔවුන් හැසිරුනු ආකාරය ගැන වාද කර ඇත්තෙමි. එහෙත් විරුද්ධ මත වලටඉඩ එහි තිබුනේ නැත. අන්තරය කොන්දේසි විරහිතව දෙමළාට එරෙහිව කඩේ යනු වේදනාවෙන් බලා සිටියටෙමි. ඒ රජයේ සියලු වැරදි අමතක කොටය.

    නමුත් එදා පීඩකයා සමග එකට හුරේ දැමූ ජවිපෙ තම සැබෑ සතුරා තේරුම් ගත්තා යයි නොසිතමි. අද අන්තරය ගුටි කනු දැක මට දැනෙන්නෙ කාළකණනි සතුටකි. (සමාවන්න) එහෙත් එය කල දේ එලිපිටම පල දීමකි.

    අන්තරය වි.වි පධ්ධතිය ඇතුලේ ගූණාත්මක භාවය ගැන කොතරම් උනන්දු වූවාද යන්න මම ඇසුවෙමි. බොහො උත්තර ලබා දුන් අතර අද වන විට අන්තරය විඳවමින් සිටී.

    අන්තරයේ මහතුනි,

    අසල් වැසියාට එරෙහිව හුරේ දමන විට මෙය සිදුවෙතැයි ඔබලා බලාපොරොත්තු නොවූ බව නම් දනිමි.

    • gadfly says:

      සමාව ඉල්ලන්නට දෙයක් නැත. ජාතික ගැටලුව පිලිබඳ මටත් ප්‍රශ්න ඇත. එහෙත් එය එසේ වූ නිසා අද අන්තරය වෙනුවෙන් පෙනී සිටින්නට මම එය බාධාවක් කර නොගනිමි. මක් නිසාද යත් එය අද ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස පිලිබඳ ගැටලුවක් බැවිනි. මම ජෙනරාල්ගේ නිදහස වෙනුවෙන්ද පෙනී සිටින්නේ ඒ අර්ථයෙනි.මේ අවස්ථාවේ එයින් මග හැර යාමට නිදහස වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකුට නොහැක.

  4. අද “දිවයින” මුල් පුවතේ මෙසේ කොටසකි.

    “මේ අතර උද්ඝෝෂකයින් අතරට පත්වූ සරසවි සිසුවා ජංගම දුරකථනයෙන් එම ස්‌ථානයේ සිට ඔත්තු සැපයූ බවට තොරතුරු ලැබී ඇති අතර ඔහු උද්ඝෝෂකයින් දෙසට ගලකින් පහරදුන් බවට තොරතුරුත් ලැබුණු බවද විශ්වවිද්‍යාලයීය ආරංචි මාර්ග කියයි.”

    ජාතික කියන පත්ත‍ර මේ තිරිසන් වැඩ වහන් ක‍රන අජූව බලන්න.

  5. ඊවා ලූනා says:

    @ සිත් මණ්ඩිය

    අප රටේ පමණක් නොව ලෝකයේ ඕනෙම රටක මාධ්‍යවල හැසිරීම තීරණය කරන්නේ ප්‍රාග්ධනයයි. මාධ්‍යයේ දේශපාලනය යනු ප්‍රාග්ධන හිමියාගේ දේශපාලනයයි. දිවයිනේ දී එය ආණ්ඩුවේ ඇමති වරයෙකුගේ සොහොයුරෙක් වන නිමල් වෙල්ගමගේ දේශපාලනයයි.ඔබ වෙල්ගමගෙන් මීට වෙනස් විදියක හැසිරීමක් බලාපොරොත්තු වෙන හැඩයි.

    • gadfly says:

      ප්‍රාග්ධනය පිලිබඳ කතාව ඇත්තය. ඒත් මේවායේ වැඩ කරන මාධ්‍යවේදින් …. ඔවුන්ට මේ පිලිබඳ වගකීමක් නැතිද? ඔවුන්ගේ පිරිහීම කෙතරම්ද? මට මතක් වෙන්නේ දිවයිනේ වැඩ කල දයාසේන ගුණසින්හ බඳු කොන්ද කෙලින් තබා ගෙන වැඩකල මාධ්‍යවේදිනුයි.

  6. ```Outsider``` says:

    තමාගේ බඩට වැදෙනකම් ගොඩක් පාර්ශ්ව කරන්නේ ආතල් ගන්න එකය. යුධ සමයේ මානව හිමිකම් කතා කල මිනිසුන්ව ජවිපෙට වගේම අන්තරේට වගේම සරත් පොන්සේකාටත් වහකදුරු විය. ඔවුන්ට එරෙහිව අවි එසවීමේ රාජ්‍ය හවුලේ පෙරගමන්කරුවෝ ලෙස සිටියේ ඔවුහුය.
    එහෙත් අන්තිමට ඒ සියඵ පාර්ශ්ව වලට ඇඩ්‍රස් නැතිවූයේ තමන්ට පහර එල්ල කරන විටය. මානව හිමිකම් මතක් වන්නේ එවිටය.
    වැරැදි දේට විරුද්ධ විය යුතු බව ඇත්තය. එහෙත් ප්‍රචණ්ඩත්වයෙන් ආවේගයෙන් පිළිතුරු දෙන්න ගිය විට මර්ධකයා ශක්තිමත් වේ. ඔවුන් ගල් කැටයක් විසි කලත් එය බෝම්බයක් ලෙස පෙන්වා දීමට පාර්ශ්වකරුවන් ඇති බැවින් මර්ධකයා ජය ගනියි. ඒත් එසේ කරුණු විකෘති කර ආතල් ගන්නා අයටද ඉක්මණින්ම මානව හිමිකම්, සාධාරණය ගැන කතා කරන්න සිදුවෙනු ඇත. එවිටද මර්ධකයන්ට පක්ෂව ඔවුන්ට එරෙහිව කරුණු ගොනු කරන තව යටි තලයක් ඇත. මෙය ඉවරයක් නැත.
    මෙය නම් ජාතියේ වරදක් විය යුතුය.

  7. sihath says:

    කියන විදිහට අන්තරේ අය ඔලු පලනකොට අරගලය වේ. අන්තරේ භීෂණයට විරුද්දව විරෝදය දක්වනකොට ගණිකවො වෙයි. මට නම් අන්තරේ වි.ව. තුලත් ඉන් පිටතත් ගෙනයන භීෂණයේත්, අන්ඩුවේ භීෂණයේත් අතර වෙනසක් නැත. මොකද දෙගොල්ලන්ම තියන බලය උපරිම ලෙස පාවිච්චි කරමින් තමන්ට අවශ්‍ය දේ කර ගනී. ආණ්ඩුව පොලීසිය පාවිච්චි කරනවිට, අන්තරය නවක සිසුන් පාවිච්චි කරයි. ආන්ඩුවේ මාරු කිරීම් නිසා පොලීසිය කටයුතු කරන අතර වි.ව තුල භීෂණය නවක සිසුන්ට බලපෑම් කරයි. මාද කැළණි වි.වි සිටින බැවින් ඒවා ගැන තව සාධක අවශ්‍ය නැත.

  8. bckurera says:

    වි. වි. තුල සිටින්නේ ඔය තරම්ම පරාරථකාමීන්යැයි කිව නොහැක. වි. වි. තුල පවතින ජෙ.වි.පී. අතුගෑමට ආරම්භ කිරීම හොදය නවක වදයද එවිට අතුගෑවී යනු ඇත. වි. වි. සිසුවෙකු ලෙස මා මේ ගැන සතුටු වෙමි. අන්තරයට තවත් සිසුන් කඩේ යැවීමට නොහැකිවන ලෙස එය අඩපණ කල යුතුය. අන්තරයේ නාකියා අත්තඩංගුවට ගැනීම ඉතාමත් හොද දෙයකි.

  9. gadfly says:

    @bckurera and sihath

    ඔබ වැන්නවුන් අපද සරසවි තුල සිටින සමයේ දැක ඇත.පවතින රජයන්ට කඩේ යෑමත්, ප්‍රොෆාලගේ පසුපස ගොස් විභාගය සමත් වීමත්, ඉන්පසු මොකෙක් හෝ දේශපාලුවෙක් ගේ එල්ලී රස්සාවක් සොයාගැනීමත් මහාලොකු ජයග්‍රහන යැයි සිතන ඔබ වැන්නවුන් සමග වාද කිරීම කාලය නාස්ති කිරීමකි. ජේවීපිය අතු ගා බලන්න ඊනියා නවක වදය නතර වේදැයි කියා… ලොව විසු සෑම ඒකාදිපතියෙකුම ඔබලා වැනි වූ වන්දිබට්ටට්යින් පාවිච්චි කලහ. අන්තරයට ඔබ එරෙහි වන්නේ ඔබලාගෙ වන්දිබට්ටකම් වලට එය බාදාවක් බැවිනි. අන්තරය හා ඔබේ ඇති වෛරය අපට තේරුම් ගත හැක. ඔබ වැන්නවුන්ට අප අනුකම්පා කරමු… :අපට මතක් වෙන්නේ තමන් කුරුසයේ ඇන ගැසු උන් ගැන ජේසුන් කී දෙයයි.
    ” ස්වාමිනි නොදැන කල දේට මොවුන්ට සමාව දෙනු මැන”

  10. […] full post on Gadfly Zone-ඇට මැස්සාගේ අඩවිය Tags: Flames, Universities, ගිනිතැබීම, නොහොත්, […]

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s