ඇතුලු වීම තහනම්

Posted: April 4, 2010 in Uncategorized

පහුගිය අප්‍රේල් 1 දා මම තවත් යාලුවෝ කීප දෙනෙක් එක්ක තවත් යාලුවෙකුගේ ගෙදරට එකතු වුනේ අප්‍රේල් පලමු වැනිදා ව්‍යාපාරය ගැන කතා කරන්න. මේ ව්‍යාපාරයේ අරමුණ තමා අප්‍රේල් 1 දා අපේ රටේ ජාතික දිනය හැටියට නම් කරවා ගැනීම.
ඉතින් අපි කතා කරමින් ඉන්න අතරේ එක යාලුවෙක් ටී වී එක දැම්මා ලයිව් ඇට් එයිට් බලමු කියලා.ඉතින් අපිත් කතා කරන් ගමන්ම විනෝද සමය රස වින්දා.  ඕන්න ඔය වෙලාවේ තම මේ වැදගත් ප්‍රවෘත්තිය නිවේදකයගේ මුවින් බොහෝම උජාරුවට පිටවුනේ.

ඒක තමා ඩලස් ඇමති තුමාගේ දුම් රිය දෙපාර්තමේන්තුව තහනම් නියෝගයක් දාලා ,මීට පස්සේ හිඟන්නන්ට දුම් රිය වලට හා දුම් රිය ස්ථානවලට ඇතුලු වීම තහනම් කියලා.
මේ ප්‍රවෘත්තිය අහපු ගමන් මගේ සිහියට ආවේ මීට අවුරුදු ගනනකට කලින් බලපු බෲස් ලී චිත්‍රපටියක්. එකේ බෲස් ලී යනවා උයනකට ඇතුලු වෙන්න. ඒත් එකේ ගේට්ටුවේ ගහලා තියෙනවා ” චීන්නුන්ට හා බල්ලොන්ට ඇතුලුවීම තහනම්” කියලා.

දැන් ඉතින් අපේ දුම් රිය ස්ථානවලත් දැන්වීම් තියෙයි ” හිඟන්නන්ට ඇතුලුවීම තහනම්” කියලා.
හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නෙ හිඟන්නා කවුද හිඟන්න නොවෙන්නෙ කවුද කියලා හරියට අර්ථ දක්වා ගැනීම . වැඩේ හරියට නොකොලොත් අපි වගේ ආන්ඩු පාක්ෂිකයෝ වුනත් එලියට දාන්න ඩලස් ඇමති තුමාට සිද්ද වෙයි.ඒක නිසා හිඟන්නෝ අඳුරගන්න වැඩේ ආර්ථික විද්‍යා විශාරද බන්දුල ගුණවර්දන මහත්තයාට භාර දුන්නොත් හොඳා.

ඊ ලඟට මේ කටයුත්ත ටිකෙන් ටික පුලුල් කරන්නත් ඩලස් ඇමති තුමාට පුලුවන්.
” හිඟන්නන්ට සහ ජේවීපී කාරයින්ට ඇතුලුවීම තහනම් කියලා දැන්වීමක් දැම්මොත් දුම් රිය වර්ජන ප්‍රශ්නෙත් විසඳා ගන්න ඇමති තුමාට පුලුවන්.
ඔය විදියට ලැයිස්තුව ඇමතිතුමාට සහ එතුමාගේ නායක තුමාට හිතෙන විදියකට දික් කරගන්න පුලුවන්.
දෙමලුන්ට, මුස්ලිමුන්ට, කොච්චින්ට, යූඇන් පී කාරයින්ට, ආදි වශයෙන්.විමල් වීරවංශ උන්නැහෙ කියන්න පුලුවන් සුද්දොන්ටත් තහනම් කරමු කියලා.

දැන් මහ රජ්ජුරුවෝ එයාගේ විරුද්ධවාදියෝ හිරේ විලංගුවේ දාලා , අතුරුදහන් කරලා මර්දනය කරනකොට ඩලස් ඇමති තුමාටත් පුලුවන් පොඩි තල්ලුවක් දෙන්න , උන්ට කෝච්චියේ යන්න නොදී.
මහ රජ තුමාට විරුද්ධ ජේ වී පී කාරයෝ , යූ ඇන් පී කරයෝ විතරක් නෙවෙ එතුමාට චන්දේ නොදුන්න දෙමල මුස්ලිම් උනුත් පයින් යනකොට කොහොමද අපූරුව.

මේ නීතිය බොහොම තදින් ක්‍රියාත්මක කරන්න ඇමති තුමා තීරණය කරලා තියෙන බවකුයි පේන්න තියෙන්නෙ. බැරි වෙලාවත් හිඟන්නෙක් දුම් රිය ස්ථානයකට ඇතුලු වුනොත් ඒ වෙලාවේ  හිටිය ආරක්ෂක නිලධාරියගේ වැඩ තහනම් කරනවා.
එතකොට ඒ ආරක්ෂක නිලධාරියයි එයාගේ පවුලයි ඉබේම හිඟන්නෝ වෙලා එයාලත් දුම් රිය තහනම් වෙනවා.ඉතින් ඔය හිටපු ආරක්ෂක හිඟන්නා හිඟමන් යදින්න දුම් රිය පොලට ආපු වෙලාවක එයගේ පරණ යාලුවෙක් එහෙම ඉඳලා ඇතුලට යන්න ඉඩ දීලා අහු උනොත් ඒ යාලුවටත් වෙන්නේ ඒ සන්තෑසියමයි.මේ විදියට වැඩි කල් නොගොහින් මුලු දුම් රිය දෙපාර්තමේන්තුවම හිඟන්නෝ කරලා එලියට දාන්නත් බැරි කමක් නැහැ.

එහෙම උනොත් ඉතින් ඉන්දියාවට හරි චීනෙට හරි දුම් රිය භාර දෙන්න වෙනවා.
මේ විදියට ගිහින් අන්තිමේ මුලු ලංකාවටම දුම් රිය තහනම් වෙයිද කියලා මගේ යාලුවෙක් ඇහුවා. ඒක ඉතින් දැන්ම කියන්න පුලුවන් කාරණයක් නෙවෙයිනෙ.

හිඟන්නන්ට වගේම කෝච්චිවල යන අයගේ රත්තරන් මාල කඩා ගෙන පනින අයියලාටත් මේ විදියට කෝච්චි තහනම් කරන්නැත්තේ ඇයි කියලා සමහරු අහනවා. ඒ ඉතින් සහෝදර ප්‍රේමය නිසා නේ කියලා මගේ යාලුවෙක් කිව්වත් මට නම් ඒ කතාව තේරුනේ නැහැ.

මගේ ඔලුවට වද දෙන අනිත් කාරණය තමා පොහොසත් අපි හිඟන්නන්ට අපේ දුම් රිය තහනම් කලා වගේ පොහොසත් රටවල් අපි වගේ හිඟන රටවල් වලින් එන උන්ටත් තහනම් නීති දැම්මොත් එහෙම අපේ ඩලස් ඇමත් තුමාගේ ඇමෙරිකන් පුරවැසි කමට මොනවා වෙයිද කියන එක. මං හිතන්නේ එහෙම උනොත් එතුමාට මියන්මාරය පැත්තේ පදිංචි වෙන්න බැරිය.( අනික ඉතින් අපේ රටත් දන් ටික ටික මියන්මාරයක් වී ගෙන යනවානේ.)

චීනේදී චීන්නුන්ට ඇතුලුවීම තහනම් කරපු සුද්දෝ,ජර්මනියේදී යුදෙව්වන්ට ඇතුලු වීම තහනම් කරපු නාසි වාදියෝ,දකුණු අප්‍රිකාවේ කල්ලන්ට තහනම් නීති දාපු වර්ගවාදී සුද්දෝ ඇතුලු මෙකී නොකී හැම තහනම් කාරයෙක්ම අන්තිමේ නතර වුන තැන ඉතිහාසයේ කුනු බක්කියේ බවනම් සටහන් කරලා තියන්න ඕනේ.

Advertisements
Comments
  1. Kukuu says:

    niyama kathaawa….ela

  2. ඉතාම හොඳින් ලියල තියෙනවා… කතාව ඇත්ත.

    හිඟන්නන්ට දුම්රිය වලට හා දුම්රිය ස්ථානවලට ඇතුලු වීම තහනම් කියලා කියනවාට වඩා දුම්රියවල හා දුම්රිය ස්ථානවල හිඟාකෑම තහනම් කරන්න තිබුන ලේසියෙන්ම නේද?

    ඇතුල්වෙන්න ඉස්සෙල්ල හිඟන්නෙක් කියල මනින්නෙ කොහොමද? ජැන්ඩි පහට ඇඳගෙන හිඟාකන අය ගැන මම පොඩි ලිපියකුත් ලිව්වා, මෙතනින් කියවලා බලන්න > http://sameerausa.wordpress.com/2010/04/06/the-art-of-begging/

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s